මහ බැංකුවෙන් නව ණය වැඩසටහන්

ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ  ප්‍රයත්නයට සහාය දීමක් වශයෙන් 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හදුන්වාදීමට මුදල් මණ්ඩලය 2020 ජූනි 16 දින පැවැති රැස්වීමේදී තීරණය කළ බව මහ බැංකුව පවසයි.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටීමත්, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේදී දැඩි බලපෑමක් ඇති කළ  හැකි බව මහ බැංකුව සදහන් කරයි.

“ඒ අනුව 2020 මාර්තු 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදීයාම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත.” මහ බැංකුව  පවසයි.

මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමටද මහ බැංකුව කටයුතු යොදා ඇත.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මණින්ම ඉදිරි කාලයේදී නිකුත් කරනු ඇති බවත් මහ බැංකුව පවසයි.

Visits: 130