ද.ආසියානු කලාපය සඳහා වන මහරැජිනගේ නව වෙළෙඳ කොමසාරිස් පත් කෙරේ

එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දකුණු ආසියානු කලාපය සඳහා වන වෙළෙඳ කොමසාරිස්වරයා වශයෙන් ඇලන් ගෙම්මෙල් මහතා පත්වීම් ලැබ ඇතැයි කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව දකුණු ආසියානු කලාපය සඳහා වන නව වෙළෙඳ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගන්නා බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.  එසේම ඉදිරියේදී බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් වෙළෙඳ සහ ආයෝජන සබඳතාවක් ඇති කරගැනීම සඳහා කටයුතු කරන බවත් තානාපති කාර්යාලය පවසයි.

ඇලන් ගැම්මෙල් මහතා දකුණු ආසියානු කලාපය සඳහා වන මහ රැජිනගේ වෙළෙඳ කොමසාරිස්වරයා මෙන්ම බටහිර ඉන්දියාව සඳහා වන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙසද පත්වීම් ලැබ තිබේ. මීට පෙර ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

දකුණු ආසියානු කලාපය සඳහා වන මහ රැජිනගේ වෙළෙඳ කොමසාරිස්වරයා ලෙස ඇලන්  ගෙම්මෙල් මහතාට බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවද සමගින් ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ සියලුම දෙපාර්තමේන්තු වල පාලනය හිමිවන බව  බ්‍රිතාන්‍ය රජය පවසයි.

ඒ අනුව ද්විපාර්ශ්වික වෙලෙඳාම සහ ආයෝජන සබඳතා ඇති කරගැනීම, බ්‍රිතාන්‍ය සමාගම් වෙත වෙළෙඳ පොළ පිවිසුම් අවස්ථා වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද ඇතුළත්ව, මූල්‍ය සහ වෙළෙඳ ප්‍රතිපත්ති ගොඩනැගීම යනාදී කරුණු මෙම වෙළෙඳ කොමසාරිස්වරයා වෙත පැවරෙයි.

එසේම වන මහ රැජිනගේ වෙළෙඳ කොමසාරිස්වරයා ලෙස මහ කොමසාරිස් කාර්යාලය සමගින් සමීප සබඳතාවක් පවත්වාගෙන යා යුතු වෙයි.

Visits: 57