කොවිඩ්-19 නිසා කලම්බු ඩොක්යාර්ඩ් මුල් මාස හයටම පාඩුයිලු

2020 වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වන පළමු කාර්තුවේදී මෙන්ම ජූනි 30 වැනිදායින් අවසන් වන දෙවැනි කාර්තුවේදීද සිය සමූහය අලාභයන් වාර්තා කරනු ඇතැයි කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි. දේශීයව මෙන්ම ගෝලීයවද බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වය මේ සඳහා හේතු වුණු බව කලම්බු ඩොක්යාර්ඩ් කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කරයි.

“කොවිඩ්-19 වසංගතය නිසා 2020 පළමු කාර්තු දෙක තුළදීම (2020.30.31 සට 2020.06.30 න් අවසන් වන කාර්තු) සිදුවුණු ආදායම් අඩුවීමත් සමගින්ම, එම කාර්තු දෙක තුළම අප සමූහය පාඩු වාර්තා කරාවි.” සමාගම පවසයි.

විශේෂයෙන්ම සිය  ප්‍රධාන ව්‍යාපාර වන නෞකා නිෂ්පාදනය, නෞකා අලුත්වැඩියාව ඇතුළු විදේශීය ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් අනෙකුත් මහාපරිමාණ ඉංජිනේරු ක්‍රියාකාරකම් මෙන්ම දේශීය ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් සාමාන්‍ය ඉංජිනේරු මෙහෙයුම් යනාදියේ සිදු වුණු කඩාවැටීම මෙම අලාභ ඇති වීමට මූලික වී තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුවුණු බලපෑම පැහැදිලි කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් සිය ලැයිස්තුගත සමාගම් වෙත සිදු කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස සමාගම මේ කරුණු අනාවරණය කර සිටියි.

“මාර්තු මාසය මැදදී රට  පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හේතුවෙන් සමූහයේ සියලුම ආකාරයේ ඉංජිනේරුමය ක්‍රියාකාරකම් දරුණු ලෙස බලපෑමට ලක් වුණා. මෙහෙයුම් සඳහා ප්‍රමාණවත් තරම් ශ්‍රම බලකායක් යෙදවීමට නොහැකිවීම ඊට හේතුවයි. ඒ වගේම රටවල් අතර පැවැති සංචාරක තහනම් සහ ජාත්‍යන්තර වරායන් සහ ගුවන් තොටුපොළ වසා දැමීම නිසාත් ව්‍යාපාරයේ මෙහෙයුම් වෙත කැපී පෙනෙන බලපෑමක් එල්ල කළා.”

කෙසේ වෙතත් මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තුරුම පැවැති බවත්, එම කාලය තුළදී සමාගමට සිදු කළ හැකි වූයේ අත්‍යවශ්‍ය නෞකා අලුත්වැඩියාවන් සහ නඩත්තු කඩයුතු පමණක් බවත් සමාගම පවසයි. විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන  පාදක කරගත් සමාගම් ලෙස රජයේ බලධාරීන් නිකුත් කළ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මකවීමට තමන්ට සිදුවුණු බවත් කලම්බු ඩොක්යාර්ඩ් වැඩිදුරටත් පෙන්වා දෙයි.

“මාර්තු මැද සිට මැයි අවසානය දක්වා වූ මේ ලොක්ඩවුන් කාලසීමාවේදී නෞකා අලුත්වැඩියා අංශය ක්‍රියාත්මක වුණේ සාමාන්‍ය ධාරිතාවයෙන් 20%ත් – 30%ත් අතර ප්‍රමාණයකින් පමණයි. ඒ වගේම අනෙකුත් අංශත් 5%කටත් වඩා අඩුවෙන් තමයි ක්‍රියාත්මක වුණේ.”

කෙසේ වෙතත් ජූනි මාසය ආරම්භයේ සිට සිය ව්‍යාපාර මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවත්, අද වනවිට උපරිම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගීකරගනිමින් සිය සියලුම ව්‍යාපාර අංශ සාමාන්‍ය ධාරිතාවෙන් 50%ක පමණ ප්‍රතිශතයකින් පවත්වාගෙන යන්නටද කටයුතු කරන බව සමාගම පවසයි.

“දැනට පවතින තොරතුරු අනුව මේ වසරේ තුන්වැනි කාර්තුවේදී පමණ සැපයුම් අංශයේ වර්ධනය බලාපොරොත්තු විය  හැකියි. එහෙත් කොවිඩ්-19 සම්බන්ධයෙන් වන ප්‍රවනතාව තවමත් අවිනිශ්චිතයි. ඒ නිසා 2020 වසරේ අවසන් කාර්තුවෙන් පසුව සමාගමේ ආදායම් සහ මූල්‍ය ප්‍රතිඵල තුළ යම් දියුණුවක් ඇති වෙතැයි කළමනාකාරණය අපේක්ෂා කර සිටිනවා.”

මේ අතර, දැනට සමාගම සතු වියදම් අඩු කරගැනීමේ අරමුණින් මෙන්ම කොවිඩ්-19  පසුව ඉදිරියේදී උදාවන නව්‍ය සාමාන්‍ය තත්ත්වය යටතේ ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්  ඒ හරහා ශක්තිමත්ව යළිත් ඉදිරියට ඒමට කටයුතු කරන බවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී කොටස් වෙළෙඳපොළ වෙත මෙන්ම සිය කොටස් හිමිකරුවන් වෙතත් වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 174