සෙස් බදු වැඩිවීමෙන් සිමෙන්ති මිල ඉහළ යාවිලු?

මෙරට සිමෙන්ති නිෂ්පාදන සම්බන්ධයෙන් වෙන වෙනම හඳුන්වාදී ඇති සෙස් බදු හේතුවෙන් සිමෙන්ති මිල ඉහළ යාමේ අවධානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මහා පරිමාණව සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කරනු ලබන කිහිප දෙනෙකුගේ සිත පිනවීම සඳහා කටයුතු කිරීම නිසා මෙලෙස සිමෙන්ති මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔවුන් සඳහන් කරයි.

එම ව්‍යාපාරය පෙන්වා දෙන ආකාරයට මෙරට සිමෙන්ති කර්මාන්තය සිදුවන ආකාර කිහිපයකි. ඒ අතරින් සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන ‘ක්ලින්කර්ස්’ මෙරටට ආනයනය කර සිමෙන්ති නිෂ්පාදනය ඉන් එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය වන්නේ සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර මෙරටදී සිමෙන්ති ලෙස ඇසුරුම් කිරීමයි. සිමෙන්ති මලු ලෙස අසුරා මෙරටට ආනයනය කිරීම තෙවැනි අවස්ථාවයි.  

පිළිවෙලින් 2017 වසරේදී සහ 2020 වසරේදී සිමෙන්ති සඳහා මෙම සෙස් බදු හඳුන්වාදීම සිදුව තිබේ. ඒ අනුව 2017 නොවැම්බර් 27 වැනි දින එවකට අමාත්‍යාංශය භාරව සිටි මලික් සමරවික්‍රම මහතාගේ නියෝගයකට අනුව සිමෙන්ති කුඩා ආනයනය සඳහා සෙස් බද්ද 8% ක්ද, සිමෙන්ති බෑග් ආනයනය සඳහා සෙස් බද්ද 14%ක් ලෙසද ඉහළ නංවා ඇතැයි එම ව්‍යාපාරය පවසයි.

එසේම 2020 ජූනි 03 වන දින වර්තමාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සෙස් බද්ද යළිත් වරක් සංශෝධනයට ලක් කර ඇත. එහිදී සිමෙන්ති කුඩු ආනයනයේදී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 3.00ක සෙස් බද්දක් සහ සිමෙන්ති බෑග් ආනයනයේදී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 5.00ක සෙස් බද්දක්ද පැනවීම සිදුව තිබේ. මීට අමතරව සිමෙන්ති ක්ලින්කර් සඳහාද රුපියලක සෙස් බද්දක් පැනවී ඇත.

එම ව්‍යාපාරය පෙන්වා දෙන ආකාරයයට මෙම සෙස් බදු වැඩිවීම් නිසා සිදුවන සිමෙන්ති මිලෙහි වෙනස්වීම මේ ආකාරය ගනී.

2017 වසර සිට 2020/06/02 දක්වා සිමෙන්ති සඳහා ගෙවිය යුතු සෙස් බද්ද මෙසේය.
01. සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද 8% වූ විට කිලෝ 50ක සිමෙන්ති බෑග් එකක් සදහා එය රුපියල් 47.00ක් පමණ වේ. (මෙම මිල සාදාගනු ලබන්නේ CIF මිල සමග ඩොරලයේ හුවමාරු අගය ගලපාගෙනය)
02. සිමෙන්ති බෑග් ආනයනය සදහා කිලෝ 50 බෑග් එකක් සදහා සෙස් බද්ද රුපියල් 70.00 පමණ වෙයි.

2020/06/03 වනදාට අනුව සිමෙන්ති සදහා සංශෝධනය වූ සෙස් බද්ද මෙසේය.
01. සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 3.00 කි. එය කිලෝ 50 සිමෙන්ති බෑග් එකක් සදහා රැපියල් 150.00 කි.
02. සිමෙන්ති බෑග් ආනයනය සදහා සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 5.00 කි. එනම් කිලෝ 50 බෑග් එකක් සදහා රුපියල් 250.00 කි.

මේ අනුව සිමෙන්ති කිලෝ 50 කොට්ටයක් සදහා වැඩි වන සෙස් බද්ද මෙසේය.
01. සිමෙන්ති කුඩු ආනයනය කර අසුරන ලද  කිලෝ 50 ක කොට්ටයක් සදහා නව සෙස්බද්ද රුපියල් 150.00 යි. ඉන් අඩු කළා කළින් පැවැති සෙස් බද්ද රුපියල් 47.00. ඒ අනුව නව සෙස් බද්දේ වෙනස රුපියල් 103.00 කි.
02. ආනයනය කරන ලද කිලෝ 50 ක කොට්ටයක් සදහා  නව සෙස් බද්ද රුපියල් 250.00 යි, අඩුකලා කළින් පැවැති සෙස් බද්ද රැපියල් 70.00 නව සෙස්බද්දේ වෙනස රුපියල් 170.00 කි.

ඒ අනුව දළ වශයෙන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 150.00ක් වැනි මිලකින් ඉහළ යාමට නියමිත වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි.

“මෙරටට සිමෙන්ති අසුරන ආනයනය කිරීම නවතා දමා ඇති නිසා, සිමෙන්ති කුඩු ආනයනය කිරීම හා සිමෙන්ති අසුරා ආනයනය කිරීම අතර රුපියල් 75.00ක පමණ වෙනසක් තිබෙන නිසා එම කර්මාන්තය බිඳ වැටීමක් සිදු වේවි. ඒ අනුව මෙරට සිමෙන්ති ඒකාධිකාරයක් ඇති වීම වැළැක්විය නොහැකි නිසා තවත් මාස 6ක් යද්දී සිමෙන්ති මිල වැඩි වීම නැවැත්විය නොහැකි වනු ඇත.“ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර, මෙරටට සිමෙන්ති කුඩා ආනයනය කළද, ඒ සමග  ඇතැම් සමාගම් සිමෙන්ති කවරද ආනයනය කරනු ලබන බවද සභාපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව මෙරටදී සිදු වන්නේ එම සිමෙන්ති ඇසුරුම් කිරීම පමණකි. ප්‍රමිති ආයතනයේ දත්ත අනුවද ඇසුරුම් කර මෙරටට ආනයනය කරනු ලබන සිමෙන්තිවල ප්‍රමිතිය ඉහළ බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

“මහා පරිමාණව සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කරනු ලබන කිහිප දෙනෙකුගේ සිත පිනවීම සඳහා කටයුතු කිරීම නිසා ඉදිරියේදී සිමෙන්ති මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇති. කෙසේ වෙතත් සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබාගැනීම අනිවාර්යය වී තිබේ.“ සභාපති රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 189