මාර්තුවේ සංචාරක ඉපැයීම් 70.8% කින් පහළට

මාර්තුවේ සංචාරක ඉපැයීම් 70.8% කින් පහළට

සංචාරක කර්මාන්තය හරහා පසුගිය මාර්තු මාසයේදී මෙරටට ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 135ක් පමණක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය පසුගිය වසරේදී මාර්තු මාසයේදී සංචාරක කර්මාන්තය හරහා ඉපැයූ ඩොලර් මිලියන 461 හා සාපේක්ෂව 70.8%ක ආදායම් අහිමිවීමකි.

මාර්තු මාසයට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පහදමින් මහ බැංකුව මේ කරුණු දන්වා සිටියි.

“කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දැඩි බලපෑමට ලක්විය. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සහ නැව් නවතාලීමත් සමග 2020 මාර්තු තුන්වන සතියේ සිට සංචාරක පැමිණීම් නැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 මාර්තු වාර්තා වූ 244,328ක් වූ සංචාරක පැමිණීම් 2020 මාර්තු මාසයේදී 71,370 දක්වා 70.8 කින් අඩුව තිබේ.” මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මෙහිදී 2019 වසර සඳහා වන ආදායම් ගණනය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් එම වර්ෂය සඳහා සිදුකළ සමීක්ෂණයට අනුව ඇස්තමේන්තු කළ සංචාරකයෙකු මෙරට ගත කරන සාමාන්‍ය කාලය සහ සංචාරකයෙකුගේ සාමාන්‍ය දෛනික වියදමට අනුව සංශෝධිත බව මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම 2020 වසර සඳහා වන ආදායම් ගණනය තාවකාලික වන බවත් එම අධිකාරිය මගින් මෙම වර්ෂය සඳහා වන සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව මෙම ගණනය කිරීම් සංශෝධනය විය හැකි බවත් මහ බැංකුව අවධාරණය කරයි.

“අනුව 2019 වසරේදී ලැබුණු සංචාරක ආදායම වූ ඩොලර් මිලියන 461 හා සැසඳීමේදී 2020 මාර්තු මාසයේදී එය ඩොලර් මිලියන 135ක් දක්වා අඩුවීම තාවකාලික ඇස්තමේන්තුවකි.” මහ බැංකුව පවසයි.

මේ අතර, 2020 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ පළමු කාර්තුව තුළදී සංචාරක ආදායම් ඉපැයීම ඩොලර් මිලියන 956ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ පළමු කාර්තුවේදී ලැබූ ඩොලර් මිලියන 1,396 ක සංචාරක ඉපැයීම් හා සාපේක්ෂව 3‍1.5% ක අඩුවීමකි.

මෙම දත්ත අනුව 2019 මාර්තු මාසයේදී මෙරටට ඉන්දියානු සංචාරකයන් 35,000 කට අධික පිරිසක් පැමිණ තිබේ. එහෙත් මේ වසරේ මාර්තුවේදී පැමිණ ඇත්තේ 13,000 කට ආසන්න පිරිසකි. එසේම 2019 දී රුසියාවෙන් 13,000ක පමණ පිරිසක් පැමිණ ඇති අතර එය මේ වසරේ මාර්තුවේදී 9,000 දක්වා අඩුව තිබේ.

මීට අමතරව යුරෝපා කලාපය යටතේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2019 මාර්තුවේදී 30,000 සිට 2020 මාර්තුවේදී 8,000 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. ජර්මනිය සහ ප්‍රංශයෙන් 2019 මාර්තුවේදී පිළිවෙලින් 18,000කට සහ 14,000කට ආසන්න වූ සංචාරකයන් පැමිණීමක් සිදුව ඇති අතර, මේ වසරේ මාර්තුවේදී එය 7,000ක් සහ 4,000 ක් බවට පත්ව තිබේ.

Visits: 21