අබාන්ස් සතු තොග මාස 6ක ඉල්ලුම සදහා ප්‍රමාණවත්ලු

අබාන්ස් සතු තොග මාස 6ක ඉල්ලුම සදහා ප්‍රමාණවත්ලු

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බොහෝ බලපෑම්වලට ලක් වුවද තම සමාගම සතු විදුලි උපකරණ තොග ඉදිරි මාස 6ක ඉල්ලුම සඳහා ප්‍රමාණවත් බව අබාන්ස් පීඑල්සී සමාගම පවසයි. විශේෂයෙන්ම මෙරට විදුලි උපාංග සිල්ලර වෙළෙඳ පොළේ මුල් තැනක පසුවෙන සමාගමක් ලෙස තමන්ට ඉක්මණින්ම ආදායම් උත්පාදනය සඳහා යා හැකි වෙනු ඇතැයිද සමාගම විශ්වාසය පළ කරයි.

මෙම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම දන්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ සියලුම ලැයිස්තුගත සමාගම් වෙත සිදුකළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස අබාන්ස් පීඑල්සී සමාගම මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව උද්ගතව පවතින අවස්ථාව දැනට තමන් සතු තොග අලෙවි කරගැනීමට අවස්ථාවක් බවට පත් කරගන්නා බවත්  සමාගම මෙහිදී දන්වා තිබේ.

“ශ්‍රී ලංකා රජය ඉලෙක්ට්‍රොනික අයිතම සහ ගෘහ විදුලි උපකරණ ආනයනය සඳහා මුදල් ගෙවීම මාස තුනක කාලයකට සීමා කර තිබෙනවා. එහෙත් රටෙහි පවතින තත්ත්වය මත මෙම කාලය තවදුරටත් දිගු වීමේ අවස්ථාවක්ද පවතිනවා. කොහොම නමුත් මෙය අපි සමාගම වෙත බලපෑ වඩාත් ධනාත්මක අවස්ථාවක් ලෙස සලකමින් දැනට අප සතුව පවතින තොග අලෙවි කර අවසන් කර ගැනීමටත්, අලුත් ආනයන සඳහා වන තවදුරටත් ණයවීම් අඩු කරගැනීමටත් කටයුතු යොදනවා.” අබාන්ස් පීඑල්සී සමාගම පවසයි.

“ඒ වගේම දැනට අප සමූහය සතු තොග ඉදිරි මාස හයක කාලයක් සඳහා වන ඉල්ලුම් කිසිදු ගැටලුවකින් තොරව සපුරාලීමට ප්‍රමාණවත්. ඒ අතරම, ගෝලීය සැපයුම් දාමයේ පවතින බාධා සහ විනිමය අනුපාතයේ පවතින වාෂ්පශීලීතාව අපගේ මෙහෙයුම්හි සාර්ථකත්වය වෙත දරුණු බලපෑම් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.” සමාගම වැඩි දුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වය වඩාත් දරුණු මුහුණුවරක් ගනිද්දීම අබාන්ස් සමූහය ගනු ලැබූ ක්‍රමෝපායික ක්‍රියාමාර්ග හරහා මෙවැනි අර්බුදකාරී වෙළෙඳපොළ තත්ත්වයක් මධ්‍යයේ වුවද වඩාත් ප්‍රත්‍යස්ථව පවත්වාගෙන යාමට හැකිවූ බවද සමාගම සඳහන් කරයි.

එසේම පවතින අයහපත් තත්ත්වය යම් තරමකට හෝ සැහැල්ලු කරගැනීම සඳහා දැනටමත් සියලුම ආකාරයේ වාණිජ බැංකු සමගින් එකඟතාවකට පැමිණීමටත්, ඒ හරහා වෙළෙඳ පහසුකම් පුළුල් කරගැනීම සහ ණය පමාසහන කාලයක් ලබා ගැනීම යනාදී කටයුතු වෙතද අබාන්ස් පීඑල්සී යොමුව තිබේ. ඊට අමතරව සිය ප්‍රාග්ධන වියදම් අඩු කිරීමටත්, අත්‍යවශ්‍ය මට්ටමේ පමණක් පවතින මෙහෙයුම් ප්‍රාග්ධන වියදම් සිදු කිරීමටත් සමාගම තීරණය කර ඇත.

“අපගේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි ක්‍රමවේද, අලෙවියෙන් පසු සේවා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අප කටයුතු සිදු කළා. ඒ වගේම අබාන්ස් සමූහයේ විදුලි උපකරණ නිෂ්පාදන හස්තය වන අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී දේශීය නිෂ්පාදන අවශ්‍යතාවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය මෙහෙයුම් දිගටම පවත්වාගෙන ආවා.”

මෙම අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් යටතේ දැනටමත් රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පවත්වාගෙන යන බවත් වසර පුරාම කිසිදු බාධාවකින් තොරව මෙම නිෂ්පාදන වෙළෙඳපොළේ පැවතීමට අවශ්‍ය කටයුතු යොදන බවත් සමාගම පවසයි.

“කොවිඩ්-19 වසංගතයෙන් පසු උදා වන යුගයේදී නව වෙළෙඳ පොළ අවස්ථාවන් උදා වේවි කියලා අප විශ්වාස කරනවා. ඒ සඳහා වන විවිධාංගීකරණය වූ නිෂ්පාදන සහ සේවා විසඳුම් පෙලගැස්වීමටත් සමූහය සැලසුම් කර තිබෙනවා.” යනුවෙන්ද අබාන්ස් පීඑල්සී කොටස් වෙළෙඳපොළ වෙත මෙන්ම සිය කොටස් හිමිකරුවන් වෙතද දන්වා සිටියි.

Visits: 75