මැයි මාසයේ උද්ධමනය 4.0%ක් වෙයි

මැයි මාසයේ උද්ධමනය 4.0%ක් වෙයි

2020 මැයි මාසය සදහා වන මතුපිට උද්ධමනය 4.0%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති 5.2%ක උද්ධමනයට සාපේක්ෂව පහළ බැසීමකි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද. 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මෙම මතුපිට උද්ධමනය මැනීම සිදු කරයි. මෙහිදී මැයි මාසයේ පැවැති ඉහල පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මෙම උද්ධමනය පහළ යෑම සඳහා පූර්ණ වශයෙන් දායක වී ඇතැයි මහ බැංකුව පවසයි.

“ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවැති 13.2 % සිට 2020 මැයි මාසයේදී සියයට 9.9% දක්වා පහළ ගොස් තිබේ. තවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනයද 2020 අප්‍රේල් මාසයේදී පැවැති 2.1% හි සිට 2020 මැයි මාසයේදී 1.6% දක්වා පහළ ගොස් තිබෙනවා.” මහ බැංකුව සඳහන් කරයි.

එසේම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2020 අප්‍රේල් මාසයේ පැවැති 4.8% හි සිට 2020 මැයි මාසයේදී 4.7% ක් දක්වා සුළු වශයෙන් පහළ යෑමත් සිදුව තිබේ.

“2020 මැයි මාසයේදී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.4% ක් ලෙස වාර්තා වූ අතර ආහාර හා ආහාර නොවන කාණ්ඩවල අයිතමයන්හි දක්නට ලැබුණු මිල ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ. ඒ අනුව මැයි මාසයේදී ආහාර කාණ්ඩයෙහි මාළු, පරිප්පු සහ සහල් මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. ආහාර නොවන කාණ්ඩ යටතේ ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම් සිදුව තිබේ.” මහ  බැංකුව පවසයි.

මේ අතර ආර්ථිකයෙහි යටිදැඩි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ  පැවැති 3.1% සිට 2020 මැයි මාසයේදී 2.9% දක්වා පහළ බැස ඇත. එසේම වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2002 අප්‍රේල් මාසයේදී පැවැති 4.7% සිට 2020 මැයි මාසයේදී 4.4% දක්වා බහළ බැස ඇති බවත්, එය මාස 12කින් වාර්තා වූ අවම අගය බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 12