බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මෙරට සුපිරි වෙළෙඳ සැල් සන්නාම වටිනාකම් ඉහළට

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මෙරට සුපිරි වෙළෙඳ සැල් සන්නාම වටිනාකම් ඉහළට

ලොව මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන ලබා දෙන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ මගින් සිදු 2020 වසර සඳහා සිදු කරන ලද ‘ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100’ පිළිබඳ ඇගයීම පසුගියදා නිකුත් විය. ඒ යටතේ මෙරට වඩාත් වටිනාකම සුපිරි වෙළෙද සැල් සන්නාම 03ක්ද ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කීල්ස්, කාර්ගිල්ස් සහ ආර්පිකෝ යන සුපිරි වෙළෙඳ සැල් සන්නාම පිළිවෙලින් මෙහි මුල් ස්ථාන 3 වෙත පත්ව ඇති අතර, පසුගිය වසරේදී එම සන්නාම ලබා ගෙන තිබූ වටිනාකම් හා සාපේක්ෂව මේ වසරේදී එම වටිනාකම් ඉහළ යාමක් පෙන්නුම් කිරීම කැපී පෙනෙයි.

විශේෂයෙන්ම තවත් තරගකාරී සුපිරි වෙළෙඳ සැල් සන්නාම දෙකක්ම පසුගිය වසරේදී හඳුන්වාදීමේ පසුබිමක් මත මෙම තත්ත්වය උදා වී ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

“SPAR සහ සොෆ්ට්ලොජික් GLOMARK යන නව තරගකරුවන් දෙදෙනාගේ ආගමනයත් සමගම මෙම සුපිරි වෙළෙඳ සැල් ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවුණා. මේ වනවිට එම සුපිරි වෙළෙඳ සැල් තමන්ගේ ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් පුළුල් කරමින් තිබෙනවා.”

කෙසේ වෙතත් මේ වසරේ මාර්තු මාසය වන විට බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගම රටෙහි අනෙකුත් සන්නාම වටිනාකම් යම් පමණකින් පහත වැටීමක් පෙන්නුම් කළද, සුපිරි වෙළෙඳ සැල් සන්නාම වටිනාකම් ඉහළ  යාම විශේෂත්වයක් ගන්නා බවත් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සඳහන් කර සිටියි.

මෙම සන්නාම වටිනාකම් අනුව මේ වසරේදී අංක 01 ස්ථානයට පත්ව ඇති කීල්ස් සුපිරි වෙළෙඳ සැල් සන්නාමය 2020 වසරේදී ලබා ගෙන ඇති සන්නාම වටිනාකම රුපියල් මිලියන 18,490 කි. එය 2019 වසරේදී ඔවුන් හිමි කරගෙන තිබූ සන්නාම වටිනාකම වූ රුපියල් මිලියන 17,506 ට සාපේක්ෂව 6%ක වර්ධනයකි.

“අද වනවිට රටෙහි වඩාත් වේගයෙන් දියුණු වෙමින් පවතින සුපිරි සාප්පු සන්නාමය ලෙස කීල්ස් හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වර්ධනය 21%ක්. විශේෂයෙන්ම ‘නැවුම්’ යන සංකල්පය සහිතව සිය සන්නාමය නැවත දියත් කිරීමට කටයුතු යෙදීමත් සමගම පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම මේ සඳහා හේතු වුණා. ඒ හරහා ඔවුන්ට පැහැදිලි ප්‍රතිඵල ලැබී තිබෙනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් පවසයි.

මෙහිදී කීල්ස් සමාගම සිය සන්නාම අලුත් කිරීමත් සමග තමන් සතු එතෙක් පැවැති වෙළෙඳ සැල් සියල්ලම අලුත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. එසේම පසුගිය වසර තුළදී තවත් අලුත් වෙළෙඳ සැල් 18ක් විවෘත කිරීමටත් කීල්ස් සමත්ව තිබේ.     

දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ කාර්ගිල්ස් ෆුඩ් සිටි සන්නාමයයි. එය මේ වසරේදී රුපියල් මිලියන 17,285ක සන්නාම වටිනාකමක් හිමි කරගෙන ඇති අතර, එය 2019 වසරේදී ඔවුන් හිමිකරගෙන තිබූ රුපියල් මිලියන 16,759ක සන්නාම වටිනාකම හා සාපේක්ෂව 3%ක වර්ධනයකි.

“කාර්ගිල්ස් ෆුඩ් සිටි ජාලයත් තමන්ගේ වෙළෙඳ සැල් නවීන ලෙස සැකසීම සඳහා කැපී පෙනෙන ආයෝජනයක් සිදු කළා. දැන් ඔවුන් සතු අලුත් වෙළෙඳ සැල් විශාල, වඩාත් ආලෝකමත්, වැඩි රථවාහන ගාල් කිරීමේ ඉඩක් සහිතව සහ නැවුම් එළවලු ඇතුළුව වඩාත් වැඩි තෝරා ගැනීම්වලින් යුත් භාණ්ඩ රැසක්ම සහිතයි.”

විශේෂයෙන්ම කාර්ගිල්ස් ෆුඩ් සිටි සමාගම ‘කලම්බු සිටි සෙන්ටර්’ හිදී පසුගිය වසරේ විවෘත කිරීමට යෙදුණු ‘කාර්ගිල්ස් ෆුඩ් හෝල්’ හරහා මෙරට සුපිරි වෙළෙඳ සැල් අත්දැකීම නවමත මට්ටමක් දක්වා රැගෙන යාමට සමත්ව ඇතැයිද බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි. එහිදී මෙය එක්සත් ජනපදයේ පිහිටි Tesco සහ ප්‍රංශයේ පිහිටි Carrefour යන සුපිරි වෙළෙඳ සැල් හා සමාන බවත් සඳහන් වෙයි.

 එසේම තෙවැනි ස්ථානයට පත් ආර්පිකෝ සුපර්සෙන්ටර් සුපිරි වෙළෙඳ සැල් සන්නාමය 2020 වසරේදී හිමි කරගෙන ඇත්තේ රුපියල් මිලියන 7,176 ක සන්නාම වටිනාකමක් පමණකි. ඔවුන් 2019 දී රුපියල් මිලියන 7,060ක සන්නාම වටිනාකමක් හිමිකරගෙන තිබූ අතර, මේ වසර වන විට ඔවුන්ගේ වර්ධනය 2%ක් පමණක් වී තිබේ.

“ආර්පිකෝ සුපර් සෙන්ටර් සුපිරි වෙළෙඳ සැල් සන්නාමයත් සිය ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල වන හයිඩ් පාර්ක්හි පිහිටි ආර්පිකෝ සුපර් සෙන්ටර් වෙත නවීනතම සහ ඉඩකඩ සහිතව ඉදිරිපත් කිරීමට සමත් වුණා. ඒ හරහා මෙරට තුළ තනි විශාලතම ආදායම උත්පාදනය කිරීමට එම ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැල වෙත අවස්ථාව හිමිව තිබනෙවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා වැඩිදුරටත් පවසයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 38