සමාදනී කිරිවන්දෙණිය SDB සභාපති ධුරයෙන් විශ්‍රාම ගනී

සමාදනී කිරිවන්දෙණිය SDB සභාපති ධුරයෙන් විශ්‍රාම ගනී

SDB හෙවත් සණස සංවර්ධන බැංකුව පීඑල්සී (SANASA Development Bank PLC) හි සභාපතිනිය ලෙස කටයුතු කළ මුදිතා සමාදනී කිරිවන්දෙණිය මහත්මිය අද දිනයේ (2020 මැයි 22දා) සිට එම ධුරයෙන් විශ්‍රාම යන බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇය පුරා වසර 09ක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක සහ සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ. එහිදී ස්වාධීන නොවන – සභාපතිනියක, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ඇය කටයුතු කළාය.

ධුරයෙන් ඉල්ලා අස් වන විට ඇය බැංකුවේ සමස්ත කොටස් අතරින් ඡන්දහිමි කොටස් 5785ක් හිමි කරගෙන සිටි බවද සණස සංවර්ධන බැංකුව පීඑල්සී සඳහන් කරයි.

සණස සමාගම් සමූහයේ ආයතනික නායිකාව වන සමාදනි කිරිවන්දෙනිය මහත්මිය මේ වනවිට සණස කැම්පස් ලිමිටඩ්, උත්තමාවී ගැරන්ට් ලිමිටඩ්, සණස ට්‍රැවල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ සණස ඉන්ටර්නැෂනල් කම්පැනි ලිමිටඩ් යන ආයතනවල අධ්‍යක්ෂ ධුරයන්හ හොබවන බව සණස සංවර්ධන බැංකුව සිය වෙබ් අඩවියේ පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් ලබා ඇති ඇය, කැනඩාවේ සැස්කැට්චිචුවාන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇතැයි ද සඳහන් වෙයි. එසේම සහභාගිත්ව සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ගැටලු කළමනාකරණය, ක්ෂුද්‍ර මූල්‍ය හා ගැටුම් විසඳීම යන ක්ෂේත්‍ර ආශ්‍රිතව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ පුළුල් අත්දැකීම් ඇය ලබා ඇතැයි පැවසෙයි.

එසේම ඇය සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ දියණියද වෙයි. එතෙක් සණස සංවර්ධන බැංකුවේ සභාපතිවරයාව සිටි කිරිවන්දෙනිය මහතා වයස අවුරුදු 70 සම්පූර්ණවීමත් සමගම 2011 වසරේදී එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව සමාදනී කිරිවන්දෙනිය මහත්මිය ධුරයට පත්වූවාය. ඇගේ සභාපතිත්වය යටතේ සණස සංවර්ධන බැංකුව බොහෝ වෙනස්කම් රැසකටම ලක් විය.

Visits: 100