ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී බලපත්‍රය අවලංගු කෙරේ

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී බලපත්‍රය අවලංගු කෙරේ

දැඩි මූල්‍ය අර්බුදයට ලක්ව නව ආයෝජකයෙකු සොයා ගත යුතු තත්ත්වයට පත්ව තිබූ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම වෙනුවෙන් නිකුත් කර තිබූ බලපත්‍රය අද (2020 මැයි 22) වැනි දින සිට අවංලගු කිරීමට මුදල් මණ්ඩලය මගින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද දින සිට ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට අද දිනයේ සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැති බවත් සඳහන් වෙයි.

මේ අතරම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ‘ද ඨිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ, ‘ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනයක්’ ලෙස නිකුත් කරන ඇති ලියාපදිංචි සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින් එහි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් සඳහා පවතින නීති හා විධිවිධාන යටතේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

ඒ අනුව ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පත්කරුවන් 145,172ක් අතරින් 135,100කට) තම මුළු මුදලම ආවරණය කර ගැනීමට හැකියාව ඇත.

එසේම අනෙකුත් 7%කට (තැන්පත්කරුවන් 10,072කට) තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රුපියල් 600,000ක මුදලක් ලැබෙන බවත් පැවසෙයි. එහිදී ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේදී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත්ව ආවරණය කරගැනීම් හැකියාවක් ඇතැයිද  මහ බැංකුව පවසයි.

මෙම වන්දි ගෙවීම පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී නිකුත් කරන බවත් මහ බැංකුව පවසයි.

“2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.

විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ ආයතනය ක්‍රියාත්මක වීම තවදුරටත් තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත අවම කිරීමට හේතු වනු ඇත. තව ද පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.

මීට ඉහත දී 2019 ඔක්තෝබර් මස 23 දින මාධ්‍ය නිවේදනය මගින් දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කරන ලදී.

මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව නියම කර ඇති කාල රාමුව තුළ දී බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරි ව ලිඛිත ව වලංගු විරෝධතාවක් ගොනු කිරීමට ආයතනය අසමත් විය. මේ අනුව 2019 දෙසැම්බර් 21 දිනෙන් පසු ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව පැවතිණ. කෙසේ වුව ද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු එනම් හා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය මේ දක්වා අසමත් වී ඇත.” මහ බැංකුව මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 27