කොළඹ වාහන නැවතුම් ගාස්තු නොගෙව්වොත් අද සිට යළි දඩ

කොළඹ වාහන නැවතුම් ගාස්තු නොගෙව්වොත් අද සිට යළි දඩ

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ ඇඳරි නීති රෙගුලාසි හේතුවෙන් කොළඹ නගරයේ වීදි වල තාවකාලිකව අත්හිටුවා තිබූ වාහන නැවතුම් ගාස්තු අද (මැයි 21) සිට එකතු කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි කොළඹ මහ නගර සභාව  පවසයි.

වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමග මෙම තීරණය ගැනුණු බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය විසින් මේ බව දැනුම් දී සිටියි. එබැවින් අද දිනයේ සිට වාහන නවතා තැබීම සඳහා ගෙවීම් සිදු කිරීමට සිදුවන බවද එහි සඳහන් වෙයි.

මෙහිදී නියමිත වාහන නැවැත්වීමේ ගාස්තු නොගෙවන පුද්ගලයන් 2017-07-26 දිනැති ගැසට් අංක 2029/29 හි ප්‍රකාශයට පත් කරන ලද කොළඹ මහ නගර සභාවේ රථවාහන නැවැත්වීමේ අතුරු ව්‍යවස්ථාවට අනුව වාහන නැවැත්වීමේ ප්‍රමාද ගාස්තුවකට යටත් වෙන බවත් පැවසෙයි. එසේම නියමිත ප්‍රමාද ගාස්තු නොගෙවීම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකට හෝ ටයර් අගුලු දැමීමකට හෝ යටත් වෙන බවත් සඳහන් වෙයි.

ඒ අනුව මොටර් කාර්/වෑන්/කැබ් රථ සඳහා පැයකට රුපියල් 50ක්, මෝටර් සයිකල් සඳහා පැයකට රුපියල් 20ක්, ත්‍රිරෝද රථ සඳහා පැයකට රුපියල් 20ක්, බස්/ලොරි රථ සඳහා පැයකට රුපියල් 70 ක් ලෙස මුදල් අය කරගන්නා බව පැවසෙයි.

එසේම පාසල් වෑනි රථ සඳහා මසකට අය කිරීම රුපියල් 600 කි. පාසල් බස් රථ සඳහා මසකට රුපියල් 1000 ක් අය කෙරේ. කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන වෑන් රථ සහ කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථ සඳහා මාසයකට අය කිරීම පිළිවෙලින් රුපියල් 1,200 ක් සහ 2,000 ක් වෙයි.

මේ වනවිට ස්වයංක්‍රීය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමේ ක්‍රියාවලිය ගාලුපාර, ඩුප්ලිකේෂන් පාර සහ මෙම මාර්ග දෙකට සම්බන්ධ සියලු මාර්ගවල ක්‍රියාත්මක වන බවත් කොළඹ මහ නගර සභාව පවසයි. ඒ අනුව මෙම ප්‍රදේශවල රථවාහන නතර කරන පුද්ගලයින්ට ක්‍රම තුනක් ඔස්සේ මෙ වාහන නැවැත්වීමේ ගාස්තු ගෙවිය හැකිය.

  1. මුදල් නෝට්ටු හෝ ඩයලොග් පාර්ක් ස්මාර්ට් ස්පර්ශ කාඩ් පත් මගින් මෙම ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ‘පේ පොයින්ට්’ පාකින් මීටරය හරහා.
  2. ‘ටෙනාගා පාර්ක් ස්මාර්ට්’ ජංගම දුරකතන යෙදුම හරහා
  3. ඩයලොග් දුරකතන හරහා #444# ඇමතීමෙන් (මෙහිදී වාහන නැවතුම් ගාස්තුව මාසික දුරකතන බිල්පතට එකතු වන අතර සේවා ගාස්තු අය කෙරේ)
  4. ‘පේ ඇන් ගෝ’ ගෙවීම් කුළුණු මගින් (ඩයලොග් පාරිභෝගික සේවා ස්ථාන හැර)

මේ අතර, කොළඹ මහ නගර සභාවේ රථ වාහන පාලිකාවන් හෝ බලයලත් රථවාහන ගාල් කිරීමේ පාලකයින් නගරයේ අනෙකුත් සියලුම ප්‍රදේශවලටද පත් කර ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.  ඒ අනුව මෙම ප්‍රදේශවල රථවාහන ගාල් භාවිත කරන්නන් අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් මෙම නැවැත්වීමේ ගාස්තු ගෙවිය යුතු බවත් සඳහන් කෙරී ඇත.

Visits: 32