“වර්තමාන අර්බුදයට මුහුණ දිය හැකි හොඳ නායකත්ව කුසලතාවක් බහුතර සමාගම් ප්‍රධානීන්ට නැහැ” – කිෂූ ගෝමස්

“වර්තමාන අර්බුදයට මුහුණ දිය හැකි හොඳ නායකත්ව කුසලතාවක් බහුතර සමාගම් ප්‍රධානීන්ට නැහැ” – සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති කිෂූ ගෝමස්

කොවිඩ්-19 අර්බුදයත් සමග මෙරට බොහෝ සමාගම් තුළ අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බුද රැසක් උද්ගතව පවතින බව නොරහසකි. වෙන් වෙන් වශයෙන් නොපැවසුවත් පොදුවේ ගත් කළ නිෂ්පාදන මෙහෙයුම් අඩාලවීම්, ඇනවුම් අවලංගු වීම්, බෙදාහැරීමේ දුෂ්කරතා, සංචාරක පැමිණීම් අත්හිටුවීම්, ජනතාව අතර මුදල් නොමැතිවීම් ඇතුළු කාරණා බොහෝමයක්ම නිසා උද්ගතව පවතින මුදල් ප්‍රවාහයේ බිඳ වැටීම් හේතුවෙන් එම සමාගම් තුළ මෙලෙස අර්බුද හට ගෙන තිබේ.

එහි අවසානය වන්නේ සේවක වැටුප් ගෙවීමේ අර්බුද හට ගැනීමයි. අද වනවිට බොහෝ සමාගම් සේවක වැටුප් යම් ප්‍රතිශතයකින් කප්පාදු කර තිබෙන අතර, ඇතැම් සමාගම් සිය සේවකයන් සංඛ්‍යාව අඩුකරමින් සිටියි. එසේම අනවශ්‍ය ප්‍රාග්ධන වියදම් කපා දැමීම් වෙතද ඔවුන් යොමු වී ඇත.

මෙලෙස උද්ගතව පවතින සියලුම ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් සිය ව්‍යාපාරයත්, සේවකයාත් රැකගැනීම එහි ප්‍රධානීන්ගේ මූලිකම වගකීම් අතර පවතී. එහෙත් එම කටයුතු උපරිමව සාර්ථක කරගැනීමට එම ප්‍රධානීන්ට හැකිවේද යන්න ගැටලුවකි. විශේෂයෙන්ම කෝවිඩ්-19 වසංගතයේ බලපෑම මින් පෙර නොවූ විරූ අවස්ථාවක් වීම ඊට හේතුවයි.

ඒ අනුව, මෙවැනි අතිශය පීඩනකාරී වාතාවරණයක් ජය ගැනීමට නම් එවැනි ප්‍රධානීන් සතුව කළමනාකරණ දක්ෂතාවන්ට වඩා එහා ගිය නායකත්ව කුසලතාවක් තිබිය යුතු බව මෙරට කළමනාකරණ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛපෙළේ චරිතයක් වන කිෂු ගෝමස් මහතා ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ සමගින් පැවසීය.

“මේ කොවිඩ්-19 වසංගතය කියන්නේ අපි කවදාවත් බලාපෙරොත්තු නොවූ, මින් පෙර කිසිදු ආකාරයක හෝ අත්දැකීමක් නොවූ අවස්ථාවක්. එතැනදී රට තුළ මෙන්ම ගෝලීයවත් එහි බලපෑම් එල්ල වීම අපගේ වැනි ආර්ථිකයක් සතු රටකට දැඩි පහරක්. ඒ නිසා තමන්ගේ සමාගම හෝ ව්‍යාපාරය පිළිබඳව කැක්කුමකින් කටයුතු කරන සභාපතිවරයෙක්, ප්‍රධාන විධායක නිලධාරියෙකුට හරි අධ්‍යක්ෂවරයෙකුට මෙය ඇත්තටම ලොකු පීඩනයක් ඇති කරවන අවස්ථාවක් තමයි. පීඩනයක් නෑ කියන්නේ එම පුද්ගලයා වගකීමක් දරන්නේ නැති, වගවීමක් නැති පුද්ගලයෙක් කියන එකයි.”

වසර 30කට ආසන්න කාලයක් මෙරට බහුජාතික සමාගම්හි ප්‍රධාන විධායක ධුර දරා ඇති කිෂු ගෝමස් මහතා, ඒ අතරින් එක් තනි ආයතනයක වසර 19කට ආසන්න කාලයක් සේවය කරමින් ආසියානු වාර්තාවක්ද තැබීමට සමත් වූවෙකි. එසේම දේශපාලන නොවන පත්වීමක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීමටද කිෂු ගෝමස් මහතාට හැකි විය. තවත් අවස්ථාවක උපදේශකවරයෙකු, මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙසද ඔහු කටයුතු කරයි. අද දවසේදී ඒ මහතා මෙරට මුල් පෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන ‘ඩ්‍රිම්රෝන් ලංකා’ සමූහ සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබ සිටියි.

“කොහොම නමුත් අද පවතින මේ ගැටලුව හරි විදියට කළමනාකරණ කරලා සේවකයන්ටත් ගැටලුවක්, අසාධාරණයක්  ඇති නොවෙන්න ව්‍යාපාරය පවත්වාගෙන යන්න මේ නායකත්වයට හැකිවීම තමයි අවසානයේදී වෙන්න ඕනේ.” ඔහු පවසයි.

“එතැනදී සෑම දෙනාටම හොඳ විදියට කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් වෙත යොමු වීම තමයි සාර්ථකත්වයේ ආරම්භය. හැබැයි මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ හැම සේවකයෙකුම තමන්ගේ පැත්තට නම්මවා ගැනීමට නම් මේ නායකත්වය සතුව මනා සන්නිවේදන හැකියාවක් පැවතිය යුතුමයි.”

මෙහිදී ව්‍යාපාරය සඳහා දායක වන සියලු දෙනාම එක මානසිකත්වයක් යටතට ගෙනැවිත්, ඔවුන් සියල්ලන්ම එක කණ්ඩායමක් ලෙස ඉදිරියට ගෙන යාම මෙම නායකත්වයේ ප්‍රධාන අභියෝගයක් බවද කිෂු ගෝමස් මහතා පවසයි. ඒ අනුව මේ අභියෝගය ජය ගනිමින් සමාගම හෝ ව්‍යාපාරය නියම තැනට යළිත් රැගෙන යාම සඳහා එම නායකත්වය මූලිකත්වය ගැනීම වැදගත් බවත් ඔහු සඳහන් කරයි.

“හැබැයි නායකයෙකු වූ පමණින්ම එය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. නායකත්ව අත්දැකීම් කියන දේත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම විවිධාකාරයේ මිනිසුන් සමගින් වැඩ කරද්දී ලැබුණු අත්දැකීම් මෙතැනදී ප්‍රයෝජනවත්. මොකද මේ අභියෝග ජය ගන්න නායකත්ව කුසලතාවය කියන දේ අනිවාර්යයි. එය යම් කිසි කලාවක් හැටියටයි මම දකින්නේ.

උදාහරණයක් විදියට ගත්තොත් ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් පැහැදිලි කර දෙන්න පුළුවන්. හැබැයි පැහැදිලි කරලා දුන්න පලියට ඒ දේ තේරුම් ගන්න පුළුවන්ද, ඒ විදියට අනුගත වෙන්න පුළුවන්ද කියන මානසිකත්වයක කවුරුත් නැත්නම් එය සාර්ථක වෙන්නේ නෑ.” හෙතෙම සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකාව යනු බහුතරය මධ්‍යම පාන්තිකයන් වන, බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවල ණයකරුවන් බවට පත්වූ පිරිසක් සිටිනා රටක් බව පවසන කිෂු ගෝමස් මහතා, පවුලේ – දරුවන්ගේ වගකීම් රැසක් මත දිවි ගෙවන ඔවුන්ට මේ පවතින තත්ත්වය පිළිබඳව තේරුම් කරදී ඔවුන් යම් පැත්තට නම්මවා ගැනීම යනු ඉතාමත් අසීරු කරුණක් බවද පවසයි.

“මගේ වසර ගණනාවක දීර්ඝ වෘත්තීමය අත්දැකීම අනුව ගත්තහම මම හිතන්නේ නෑ ලංකාවේ සමාගම්වල සිටින ප්‍රධානීන්ගෙන් 15%කට 20% කට වඩා වැඩි දෙනෙක්ට මේ ගැටලුව හරි හැටි සන්නිවේදනය කරලා පවතින අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කරගන්න පුළුවන් නායකත්ව කුසලතාවයක් තියෙනවා කියලා.” ඔහු පවසයි.

සිය වෘත්තීය දිවියේ මෙවැනි අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවක් පිළිබඳව මතක් කර දෙන කිෂු ගෝමස් මහතා, 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී තමන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකක ප්‍රධානියා ලෙස වගකීම් දැරූ බවද පවසා සිටියි. මෙම ප්‍රහාරය හේතුවෙන් 70%කට වඩා කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩගැනීමෙ අභියෝගයට තමා මුහුණ දුන් බවද ඒ මහතා සඳහන් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබූ අවස්ථාව

“මේ අවස්ථාව තමයි මම කියන මේ නායකත්ව කුසලතාවය පාවිච්චි කරන්න ලැබුණේ. මේ ප්‍රහාරයත් එක්කම හැම දෙනාගේම බලාපොරොත්තු කඩා ගෙන වැටුණා. දේශපාලනඥයෝ බයවෙලා හැංගුනා. ඔවුන් ඉදිරියටවත් ආවේ නැහැ. කොතැනින්ද මේ දේ ආයිත් පටන්ගන්න ඕනේ කියන අදහසක් කාටවත් නොතිබුණු වෙලාවක මම තමයි රට වෙනුවෙන් ලෝකයට කතා කරලා ඒ නායකත්වය ගත්තේ.

එතැනදී මම රටේ ආරක්ෂක අංශ සාමාජිකයන් සමගින් ඍජුව වැඩ කරලා, සියලු දෙනාගේම සහයෝගයෙන් රටේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ආයතන වුණු සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු ආයතන සියල්ල එක තැනකට ගෙනාවා. ඒ ගෙනැල්ලා මේ ගමන අපිට යන්න පුළුවන් ගමනක් කියන දේ හැමදෙනාගෙම හිත්වල ඇති කරන්න මට පුළුවන්කම ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි වැටිච්ච සංචාරක කර්මාන්තය අපි මාස අටක කාලයකදී 85%ක් දක්වා වර්ධනය කරගත්තේ.” කිෂු ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, අද වනවිට මෙරට රාජ්‍ය ව්‍යවසායන් රැසකම සභාපති ධුර සඳහා ප්‍රධාන පෙළේ සමාගම්හි සභාපතිවරුන් ඇතුළු මුල් පෙළේ නම් දැරූ ව්‍යාපාරිකයන්/ව්‍යවසායකයන් පත් කර තිබෙනු දැකගත හැකිය. උද්ගතව ඇති මෙම කොවිඩ්-19 අර්බුදය ඔවුන්ගේ සමාගම් වෙතද පොදුවේ බලපා තිබේ. ඒ අනුව මේ වසංගතය හමුවේ එල්ල වන ගැටලු වෙත මුහුණ දීමේදී මෙම ප්‍රධානීන්ට සිය සමාගමේ මෙන්ම තමන්ට පැවරූ රාජ්‍ය ව්‍යවසායේ වගකීමත් කල්පනා කිරීමට සිදු වීම නිසා උද්ගත වන ගැටලුද බොහෝමයකි.

“මෙතැනදී සභාපතිවරයා කියන පුද්ගලයාට යටින් හොඳ ශක්තිමත් දෙවැනි පෙළක් සිටිනවා නම් ඔහුට හෝ ඇයට එල්ල වන පීඩනය යම් තරමකින් අඩුයි. එය ඔහු නායකත්වය දරන පෞද්ගලික සමාගමේ වගේම වගකීමක් ලැබුණු රාජ්‍ය ව්‍යවසායේදීත් පොදුයි. එතකොට තමයි ඔහුට හැකි වෙන්නේ තමන්ගේ තීරණ, දැක්ම නිවැරදි විදියට ක්‍රියාත්මක කරන්න.”

කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසායන්හි මේ මොහොතේ පවතින වගකීම් සහ රාජකාරි සඳහා මෙම සභාපතිවරුන් වෙත කාලය සොයා ගැනීමේ ගැටලුවක් අනිවාර්යයෙන්ම පවතින බව තමන්ට පැවසිය හැකි යැයිද කිෂු ගෝමස් මහතා මෙහිදී සඳහන් කරයි.

“රජයට අයත් ව්‍යවසායන්හි වගකීමක් දරද්දී සභාපතිවරයෙක්  හැටියට ව්‍යවස්ථාමය වශයෙන් පැවරෙන බොහෝ කාරණා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න කාලය සොයා ගැනීම ලේසි නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විදියට ඉන්න කොට මම හැමදාම උදේ 7.30ට ගිහිල්ලා හවස 5.30 විතර වෙනකම් කාර්යාලයේ ඉන්නවා. හැබැයි සභාපති ධුරය පිරිනමන කොට ඒ අය මට කිව්වේ සතියකට දවස් දෙකක් ඇවිල්ලා, පැය තුන  හතරක් වැඩකරලා ගියා නම් ඇති කියලා. හැබැයි මේ රාජ්‍ය ව්‍යවසාය තියෙන තැනින් තවත් ඉහළ ගන්නවා කියන වගකීම ගත්තට පස්සේ ඒ දේ නොකර ඉන්න කාටවත්ම බැහැ.”

Visits: 45