බ්‍රැන්ඩික්ස් සමාගම ඇමෙරිකාවට මුහුණු ආවරණ මිලියන 200ක් මසයි

බ්‍රැන්ඩික්ස් සමාගම ඇමෙරිකාවට මුහුණු ආවරණ මිලියන 200ක් මසයි

මෙරට මුල් පෙළේ අපනයන ඇගලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම සිය සාමාජික සාමාජිකයන් 15,000කගේ ශ්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම්දාම පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ මිලියන 200ක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කිරීම සඳහා භාරදුන් බව පවසයි.

ජනාධිපති කාර්යාලය මගින් පිහිටුවා ඇති ආර්ථික පුනර්ජීවනය සහ දරිත්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම මුහුණු ආවරණ මිලියන 200 ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී.ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව භාරදීම සිදුව තිබේ.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපවල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීන් ද සහභාගි වී තිබේ.

ස්ථර තුනකින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිවිරෝධී නිමාවකින් යුතු වන අතර, වඩාත් හොඳින් මුහුණය සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බවද බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය, “බ්‍රැන්ඩික්ස් සමාගම පසුගිය මූල්‍ය වර්ෂයේදී උත්පාදනය කළ අපනයන ආදායම ඇ.ඩො. බිලියන 5.6ක්. එහෙත් කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතු වල නොවැළැක්විය හැකි පසුබෑම නිසා අපනයන වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන සිටි හිමිකාරීත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුවද, එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200ක් නිෂ්පාදනය කිරීමට හැකිවීම ඉතාම සතුටට කරුණක්” යනුවෙන් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය අදහස් දක්වමින්, “මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. එම රාජ්‍යයන් දෙක අතර සහයෝගිතාව නිසාම කොවිඩ්-19 වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරිමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් යන සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමි වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

එසේම ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම්  කට්ටල සඳහා වන ගෝලීය සැපයුම් තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා හ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමටද අපේක්ෂා කරන බව ඇය මෙහිදී පවසා තිබේ.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකාවත්, ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගිතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳඅප බෙහෙවින් සතුටු වෙනවා.” යනුවෙන් පවසා ඇත.

එසේම වත්මන් සහ අනාගත වෙළෙඳ පොළ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණූ යටිතාල පහසුකම් හා ක්ෂණිකව අනුගතවීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇති බව ගෝලීය වෙළෙඳ පොළට ඇගවීමට එමගින් හැගි වෙන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Visits: 26