ඇට්ලස් ඇක්සිලියා වෙතින් රෝහල් සඳහා තවත් රොබෝ යන්ත්‍ර තුනක්

ඇට්ලස් ඇක්සිලියා වෙතින් රෝහල් සඳහා තවත් රොබෝ යන්ත්‍ර තුනක්

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම මගින් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රීය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පසුගියදා නිල වශයෙන් භාර දුන් බව පවසයි.

දැනටමත් ඇට්ලස් සමාගම මෙවැනි රොබෝ යන්ත්‍ර හෝමාගම මූලික රෝහලටත්, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් ප්‍රදානය කර ඇති අතර, ඒවා සාර්ථවක ක්‍රියාත්මක වන බවත් හේමාස් සමූහ ව්‍යාපාරය පවසයි.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයා වන ඇට්ලස් සමාගම, මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා දිවිහිමියෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශයේ ආරක්ෂාව සඳහා, සෞඛ්‍ය අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම රොබෝ යන්ත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති දියත් කර තිබෙනවා.” සමාගම පවසයි.

මෙම නවතම රොබෝ යන්ත්‍ර සතු උෂ්ණත්ව සංවේදකයන් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකමින් ද යුතු වන අතර, රෝගීන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන්ද මේවා සමන්විත වන බවත් ඇට්ලස් ඇක්සිලියා සමාගම පවසයි.

එම සමාගමේ කෘත්‍රිම බුද්ධිමය නවෝත්පාදන ගමනේ එක් අදියරක් ලෙස එම සමාගමේ නිෂ්පාදන සහ ඉංජිනේරු කණ්ඩායම මගින් මෙම රොබෝ යන්ත්‍ර ආකෘතිය මුල්වරට නිර්මාණය කර තිබේ. ඒ එහි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙනි. කෙසේ වෙතත් වසංගත තත්ත්වය උද්ගතවීමත් සමග එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙම රොබෝ ආකෘතිය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා අනුව වැඩිදියුණු කෙරී ඇත.

ඒ අනුව දයාන් හර්ෂ (තාක්ෂණ ප්‍රධානී), විජිත මුතුගල (ප්‍රධාන ඉංජිනේරු), සිරන්ත චූලරත්න, අනුරාධ නුවන්, ප්‍රසාද් නිරෝෂණ, එරන්ද අමිල, ජනක ලසන්ත, නිෂාන්ත කුමාර, ශාලික අමරතුංග, ගයාන් අසංක සහ කුෂාන් නානායක්කාර යන පිරිසගෙන් සැදුම්ලත් තාක්ෂණ ඉංජිනේරු කණ්ඩායම දැඩි කැපවීමෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීමට ඉදිරිපත් වූ බවත් සමාගම සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා, “වසර 60 කට අධික කාලයක් පටන් ඇට්ලස් සමාගම ජාතික අරමුණු පෙරටුකර ගනිමින් ක්‍රියාත්මක වී තිබෙනවා. ලොව මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම ආපදා අවස්ථාවකදී මෙරට සෞඛ්‍ය අංශයේ ආරක්ෂාව සඳහා මුළුමනින්ම දේශීය විසඳුමක් ලබා දීමට හැකිවීම අප ගෞරවයක් සේ සලකනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 12