වැටුප් අහිමිවූ ශ්‍රී ලංකන් කොන්ත්‍රාත් සේවකයන් වෙනුවෙන් නිදහස් සේවක සංගමය ඉදිරිපත් වෙයි

වැටුප් අහිමිවූ ශ්‍රී ලංකන් කොන්ත්‍රාත් සේවකයන් වෙනුවෙන් නිදහස් සේවක සංගමය ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ එහි කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පිරිසගෙන් වැටුප් රහිතව අනිවාර්යය නිවාඩු යැවූ 400කට ආසන්න පිරිස වෙනුවෙන් සහන සැලසීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි.

“මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ සමාගමේ අයහපත් මූල්‍ය තත්ත්වය මෙන්ම තම මාසික වැටුප් මුළුමනින්ම අහිමි වීමෙන් සහෝදර කාර්ය මණ්ඩලයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ද මනාව අවබෝධයක් සහිත පරිණත වෘත්තීය සංගමයක් ලෙස මෙම කාර්ය මණ්ඩලය සඳහා සහනයක් ලබා දීමට අප සමංගමයේ අවධානය යොමු වී ඇත.” සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම කාර්ය මණ්ඩලය එම සංගමයේ ඍජු සාමාජිකත්වය නොදරන බැවින් හා මෙතරම් විශාල සේවක පිරිසකට සහන සැලසීමට සංගමයේ අරමුදලින් පමණක් සිදු කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් විශේෂිත අරමුදලක් පිහිටවූ බවත් සංගමය මෙහිදී පවසා ඇත.

ඒ අනුව පිහිටවූ එම අරමුදල සඳහා එහි විධායක සභාවේ අනුමැතියෙන් යුතුව සංගමයේ අරමුදලින් ප්‍රථම පරිත්‍යාගය සිදු කර ඇත. එහිදී සංගමයේ සාමාජිකයන්ගේ උපරිම දායකත්වයද බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සාමාජිකයන්ගේ යහපත් ප්‍රතිචාරය හැකි ඉක්මණින්ම බලාපොරොත්තුවන බවත් සංගමය සඳහන් කරයි.

Visits: 40