ඩයලොග් සමූහයේ ඉදිරි ආදායම් අඩු වුණත් ඩිජිටල්කරණ වැඩසටහන එලෙසින්මලු

ඩයලොග් සමූහයේ ඉදිරි ආදායම් අඩු වුණත් ඩිජිටල්කරණ වැඩසටහන එලෙසින්මලු

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් සිය සමූහයේ ආදායම් වෙත යම් ඍණාත්මක බලපෑමක් එල්ල වන බවට තමන් අපේක්ෂා කරන බව ඩයලොග් ආසිආටා සමූහය පවසයි.

වසංගත තත්ත්වය නිසා සිය ව්‍යපාර වෙත එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙන් කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් මගින් කරුණු දක්වමින් ඩයලොග් ආසිආටා සමාගම් සමූහය මේ කරුණු අනාවරණය කර තිබේ.

විශේෂයෙන්ම බලාපොරොත්තු නොවූ මෙම වර්තමාන තත්ත්වය පිළිබඳව තවමත් අධ්‍යයනය කරමින් සිටින බවත්, අනාගතයේදී ඇති වන බලපෑම් පිළිබඳ තීරණය මෙම අර්බුදකාරී පරිසරය පවතින කාලය මත දැඩිව පදනම් වෙනු ඇති බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙහිදී පවසා තිබේ.

“ඒ වගේම පාරිභෝගිකයන් සතු මිලදී ගැනීමේ හැකියාව සහ රටෙහි ව්‍යාපාරයන්හි යළි නැගීසිටීම යනාදියේ ඇති වන සමස්ත බලපෑම අපගේ ව්‍යාපාර වෙත එල්ල වන අනාගත බලපෑම් සඳහා පවතින ප්‍රධානම නිර්ණායක වෙනු ඇති” සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ්19 වසංගතය හේතුවෙන් හට ගෙන ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාර වෙත ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදු කර ඇති ඉල්ලීමට ප්‍රතිකාර දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙම ලිපිය යොමු කර තිබේ.

විශේෂයෙන්ම රට වසා තැබීමේ අවස්ථාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම කාලසීමාවේදී සිල්ලරව මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද සිය සේවා වෙනුවෙන් මුදල් අය කරගැනීමේ කටයුතු වෙත බාධා ඇති ව තිබෙන බවත් එය සිය කාරක ප්‍රාග්ධනය වෙත යම් පීඩනයක් එල්ල කිරීමට හේතුවී තිබෙන බවත් සමාගම පවසයි.

“කොවිඩ්-19 වසංගතයේ ගෝලීය බලපෑම හේතුවෙන් ඩයලොග් ආසිආටා සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාර වෙත දරුණු බලපෑමක් එල්ල වුණා, එහිදී 2019 මූල්‍ය වසරේදී සමුහයේ ආදායම් අතරින් 2%ක් වූ ඉන්බවුන්ඩ් (වෙනත් මෙහෙයුම් ජාලයක පාරිභෝගිකයන්ට දේශීය මෙහෙයුම්කරුවෙකුගේ දුරකතන ජාලයක් සහ සේවාවක් ලබා ගැනීමට අවස්ථාව හිමිවීම) සහ අවුට්බවුන්ඩ් (දේශීය දුරකතන ජාලයක පාරිභෝගිකයන්ට වෙනත් මෙහෙයුම්කරුවෙකුගේ ජාලය සහ සේවා භාවිත කිරීමේ හැකියාව) යනාදී රෝමිං සේවාහි ආදායම් වෙත හානි සිදුව තිබෙනවා.”  

මෙලෙස මෙම කාලසීමාවේදී මෙවැනි ආකාරයේ අවම මුදල් ලැබීම් හරහා සිදුවන බලපෑම් අවම කරමින්, සිය ද්‍රවශීලතාව නිසි ලෙස පවත්වාගෙන යාමට සහ ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ක්‍රියාමාර්ග කිහිපයක්ම රැගෙන ඇතැයිද ඩයලොග් ආසිආටා සමුහය සඳහන් කරයි.

ඒ අනුව, මේ තත්ත්වයත් සමග ඉදිරියේදී සිය වියදම් අඩු කිරීම සඳහා මෙහෙයුම් සහ ප්‍රාග්ධන වියදම් අඩු කිරීමටත් ඒ හරහා සිය ව්‍යාපාර වෙත සිදුවන බලපෑම සුමට කිරීමටත් කටයුතු යොදන බවද සමාගම මෙහිදී කොටස් වෙළෙඳපොළ වෙත සඳහන් කර තිබේ.

තත්ත්වය මෙසේ වුවත් සිය සමූහය 2017 වසරේදී ආරම්භ කළ සිය ඩිජිටල්කරණ වැඩසටහන වඩා වේගවත්ව ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඩයලොග් ආසිආටා සමාගම පවසයි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයෙන් පසු අවධියේදී සිය සමාගමේ තරගකාරීත්වය වඩා වැඩි වර්ධනය කරගැනීම සඳහා මේ කටයුතු සිදුකරන බවද සමාගමේ අදහස වී තිබේ.

එසේම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හරහා සිය සමාගම වෙත කැපීපෙනෙන මට්ටමේ වියදම් ඉතිරියක් කරගැනීමට හැකි වෙනු ඇති බවත්, ඒ සමගම පාරිභෝගිකයන්ටද සුපිරි අත්දැකීමක් ලබා දීමට හැකි වෙනු ඇති බවත් ඩයලොග් ආසිආටා සමූහය මෙම ලිපිය මගින් කොටස් වෙළෙඳ පොළ වෙත පවසා සිටියි.

5G තාක්ෂණය වෙත පිවිසීම ඇතුළුව ඩයලොග් සමාගම තුළ තවත් ඩිජිටල් තාක්ෂණික හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා ඩයලොග් ආසිආටා සමාගමේ මව් සමාගම වන ආසිආටා සමූහය පසුගිය පෙබරවාරියේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සිදු කර තිබේ.

Visits: 190