‘විශේෂ තැන්පතු ගිණුම’ සඳහා තැන්පත්කරුවන් ආකර්ෂණයට වාණිජ බැංකු අතර තියුණු තරගයක්

‘විශේෂ තැන්පතු ගිණුම’ සඳහා තැන්පත්කරුවන් ආකර්ෂණයට වාණිජ බැංකු අතර තියුණු තරගයක්

කොවිඩ්-19 වසංගතය නිසා අට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට පිළියම් ලෙස මෙරට තුළ විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමේ අරමුණින් රජය මගින් යෝජනා කර ඇති ‘විශේෂ තැන්පතු ගිණුම (Special Deposit Account)’ සඳහා තැනැපත්කරුවන් ආකර්ෂණයට මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු අතර දැඩි තරගයක් නිර්මාණය වී පවතින බව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත නිරීක්ෂණය වී තිබේ.

විශේෂයෙන්ම මෙම තැන්පතු ගිණුම සඳහා වන කොන්දේසි සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ එක සමාන වීමත් මෙම තරගය ඇති වීමට හේතුවක් වී තිබේ. ඒ අනුව අද වනවිට බොහෝමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු සිය වෙබ් අඩවි හරහා මේ පිළිබව දැනුවත් කිරීම් සිදු කරන අතර, ඇතැම් බැංකු රූපවාහිනි වෙළෙද දැන්වීම්ද මේ සදහා නිර්මාණය කරමින් ප්‍රචාරය සදහා යොමු කර  තිබේ. මේ අතර, තවත් බැංකු මේ පිළිබඳ උනන්දුවක් නොදක්වා ඇති තත්ත්වයක්ද පෙනී යයි.

“ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකික පුරවැසියන්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෙනත් රටවල පුරවැසියන්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකික නොවන තැනැත්තන්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, සංගම් සහ රට පිළිබඳව සුභසිද්ධිය පතන අනෙකුත් පාර්ශ්වයන්” යනාදී පිරිස් අදාළ විශේෂ තැන්පතු ගිණුම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන් ලෙස නම් කෙරී ඇත.

මෙහිදී අදාළ තැන්පතුවල ප්‍රභවය පිළිබඳව නොවිමසීමත්, සියලු බදුවලින් ඒවා නිදහස්වීමත් සහ මාස 6ක සහ මාස 12ක තැන්පතු කාලයකට සාමාන්‍ය තැන්පතුවලට වඩා වැඩි පොළියක් හිමිවීමත් මෙම විශේෂිත තැන්පතු ගිණුමේ විශේෂත්වය වී තිබේ.

ඒ අනුව මෙරට ක්‍රියාත්මක සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම මෙම විදේශ මුදල් තැන්පතු ආකර්ශණය කරගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

මෙලෙස එම විශේෂිත තැන්පතු ගිණුම වෙනුවෙන් තැන්පත්කරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා බැංකු අතර පවතින තරගය පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා, මෙය බැංකු වෙත සිය ඩොලර් තැන්පතු වර්ධනය කරගැනීම සඳහා ලැබුණු විශේෂිත අවස්ථාවක් බවද පවසා සිටියේය.

“ලංකාවේ බැංකු තුළ මුදල් තැන්පතු සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබෙනවා. මොකද අපේ රටේ ජනතාව ඉතිරි කිරීම් වෙත යොමුවීම් ඉතාමත් අඩුයි. ඒ නිසා බැංකු වෙත එම දේශීය ඉතිරිකිරීම් සඳහා ජනතාව ආකර්ෂණයට වැඩි තරගයක් දෙන්න වෙනවා. කෝටි දෙකක ජනතාවට බැංකු තිස් ගණනක් තියෙනවා. මේ තැන්පතු තිබුණොත් තමයි බැංකු වෙත ණය ලබා දීම් සිදුකරලා මුදල් මැවීමේ ක්‍රමයට යාමට අවස්ථාව ලැබෙන්නෙත්.

මෙවැනි තත්ත්වයක් මත බැංකු වුණත් බලන්නේ විදේශ මුදල් කොහොමද තමන්ගේ බැංකු වෙත ගෙන්වා ගන්නේ කියන දේ. එවැනි අවස්ථාවකදී බැංකු වෙත හිමි වුණු අවස්ථාවක් විදියට මම මේ ‘විශේෂිත තැන්පතු ගිණුම’ දකිනවා. බැංකුවකට මේ විදියට හරි ඩොලර් ගෙන්වා ගන්න පුළුවන් නම් එය ලොකු ජයග්‍රහණයක්. එය සම්පූර්ණ කරගන්න තමයි මේ බැංකු අතර තරගය නිර්මාණය වෙලා තිබෙන්නේ.”

එක්සත් ජනපද ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝන, ස්විස් ෆ්‍රෑන්ක්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, නෝර්වීජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් යන පිළිගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ඒකක හෝ ශ්‍රී ලංකා රුපියල් මගින් මෙම තැන්පතු සිදු කළ හැකිය.

විශේෂයෙන්ම කොවිඩ්19 නිසා උද්ගතව පවතින තත්ත්වයත් සමගින්ම මිනිසුන් අතෙහි අමතර මුදල් නොමැතිවීමෙන් බැංකු තැන්පතු පවා දරුණු ලෙස කඩාවැටීමක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට බැංකු දරණ උත්සාහය සාධාරණ බවත් ආචාර්ය මෙත්සිල මහතා සඳහන් කරයි.

“මෙතැනදී බැංකුවලටත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තැන්පතුවලට අමතර 1% සහ 2%ක පොලියක් දෙන්නේ රජයයි. මිනිස්සු ආණ්ඩුවට සල්ලි දෙන්න බයයි. හැබැයි බැංකු මේ විදියට ලොකු ප්‍රචාරයක් දුන්නහම ජනතාව අතර බැංකු පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. එය එක් පැත්තකින් මේ තත්ත්වය පිළිබඳ ජනතාවට දැනගන්න හොඳ දෙයක්.”

මෙහිදී අවම තැන්පතු සීමාවක් නොමැති අතර තැන්පතු සියල්ලම මාස හයකින් කල් පිරෙන ස්ථාවර තැන්පතු වෙයි. තැන්පතු කල් පිරීමේදී වඩා ඉහළ පොළියක් හිමි වන බවත් පැවසෙයි. ඒ අනුව මාස හයක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂිකව 1% ඉහළ පොළියක් සහ මාස 12ක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂිකව 2% ඉහළ පොළියක් හිමි වෙයි.

එසේම 2017.11.17 දිනැති අංක 2045/56 දරන ගැසට් නිවේදනයෙහි පළ කර ඇති විදේශ විනිමය නියෝගවලට අදාළ සියලු ක්‍රියාපටිපාටිමය අවශ්‍යතාවලින් මෙම තැන්පතු ගිණුම නිදහස් වන බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙලෙස එම විශේෂිත තැන්පතු ගිණුමට බැර වන මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව නොවිමසා සිටීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය හරහා කළු සල්ලි සුදු කිරීමේ අවස්ථාවක් උදා කරදී ඇති බවට ඇතැම් දෙනා අදහස් දක්වන බවත් ආචාර්ය මෙත්සිල පෙරේරා මහතා සඳහන් කරයි. එහෙත් රජය මෙය සද්භාවයෙන් ගත් තීරණයක් නම් එය මේ මොහොතේදී රටට වඩාත් යහපත් අවස්ථාවක් බවද හෙතෙම පෙන්වා දෙයි.

Visits: 191