රුපියලේ අවප්‍රමාණයත්, කොවිඩ්-19ත් ටෝකියෝ සිමෙන්ති වියදම් සීමා දැඩි කිරීමට හේතු වුණාලු

රුපියලේ අවප්‍රමාණයත්, කොවිඩ්-19ත් ටෝකියෝ සිමෙන්ති වියදම් සීමා දැඩි කිරීමට හේතු වුණාලු

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අවප්‍රමාණය වීම නිසා සිය සිමෙන්ති නිෂ්පාදන සඳහා ආනයනය කෙරෙන අමුද්‍රව්‍ය වෙනුවෙන් වඩා වැඩි මුදලක් වැයවීමත්, රජය පනවා ඇති රුපියල් 1,005ක උපරිම සිල්ලර මිලට සිමෙන්ති අලෙවි කිරීමට සිදුවීමක් යන කාරණාත් සමගම පැමිණි කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා සිය සමාගමේ වියදම් සීමා දැඩි කිරීමට සිදුව තිබෙන බව ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

කොවිඩ්19 වසංගතය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාර වෙත ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදු කර ඇති ඉල්ලීමට ප්‍රතිකාර දක්වමින් ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගම ලිපියක් මගින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සිය සමාගමේ විදේශ විනිමය වියදම් අඩු කිරීමක් ලෙස පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට සිමෙන්ති ආනයනය කිරීම යම් තරමකින් අඩු කර තිබූ බවත්, සිය සිමෙන්ති නිෂ්පාදනාගාර තුළ උපයෝගිතාව වැඩි කිරීමක් සිදු කර ඇති බවත් සමාගම පවසා සිටියි.

එසේම සිය සිමෙන්ති නිෂ්පාදන සඳහා ආනයනය කරන ක්ලින්කර් වෙත වැය වෙන විදේශ විනිමය අඩු කිරීම සඳහා ඒ වෙනුවට දේශීයව ගල් අගුරු බලාගාරවලින් බවත් කරන ගල් අඟුරු අලු යොදා ගන්නා බවත් සමාගම සඳහන් කරයි.

මීට අමතරව පසුගිය මාර්තු මාසයේ සිට ඇති වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පැනවූ ඇඳිරි නීති හේතුවෙන් බොහෝ ඉදිකිරීම් පරිශ්‍ර වසා දැමීමකට ලක්වීම නිසාද සිමෙන්ති බෙදා හැරීම් යම් ප්‍රමාණයකට අඩු වූ බව සමාගම පවසයි.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිව්වැනි සතියේ සිට අප්‍රේල් මාසයේ අවසානය දක්වා කාලසීමාව පුරා මෙම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා වන ඉල්ලුමේ අඩුවීමක් පැවති බවත් සමාගම සඳහන් කරයි. ඒ අතරම, රජය සිමෙන්ති නිෂ්පාදනයද අත්‍යවශ්‍ය සේවා යටතට වර්ග කිරීම නිසා මාර්තු මාසයේ යම් දින කිහිපයක් සිය නිෂ්පාදන සිදු කිරීමට හැකි වුණු බවත් ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම පවසයි.  

“කොහොම වුණත් සිංහල දෙමළ නව අවුරුදු සමය නිසා අප්‍රේල් මාසය කියන්නේ වාර්ෂිකව ඉතා අඩු වෙළෙඳාමක් පවතින මාසයක් විදියටත් අප හඳුනාගෙන තිබෙනවා. එහෙත් ආසන්න සති කිහිපයේදී බස්නාහිර පළාතෙන් පිටතදී යළිත් ඉදිකිරීම් කටයුතු ආරම්භවීම නිසා සිමෙන්ති සහ ඩ්‍රයි මොර්ටාර් පරිභෝජනයේ යම් ඉහළ යාමක්ද සිදුව තිබෙනවා.” සමාගම පවසයි.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු වෙත මෙන්ම මුදල් ප්‍රවාහය වෙත සිදුව ඇති බලපෑම හේතුවෙන් සමාගම තුළ වියදම් කපා දැමීමේ ක්‍රමවේද කිහිපයක්ම ගැනීමටද අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයිද ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් යම් කාලසීමාවක් සඳහා සිය ගාස්තු ලබා නොගැනීමටක්, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් තාවකාලිකව සිය වැටුප් යම් ප්‍රතිශතයකින් කප්පාදු කරගැනීමටත් පියවර ගන්නා බවත් සමාගම පවසා ඇත. එසේම සිය ශ්‍රමබලකායේ සහ කාර්යාල සේවකයන්ගේ සිදුවන ඕනෑම ආකාරයක ආදායම් වෙනස්කමකදී සිය සේවකයන් සියලු දෙනාම ආරක්ෂා කරගැනීමටත් කටයුතු යොදන බව සමාගම පවසයි.

“ඒ වගේම අපි අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන වියදම් කල් දැමීමටත්, ඇතැම් සැපයුම්කරුවන් සමගින් සාකච්ඡා කර එම ගෙවීම් කල්දමා ගැනීමටත්, අලුතින් සේවකයන් බඳවා ගැනීම් නැවැත්වීමටත්, තිරසාරත්වය මූලික කරගනිමින් සමාගමේ වියදම් අඩු කිරීමටත් එමෙන්ම අතිකාල සහ කොන්ත්‍රාත් කම්කරුවන් සේවයට ගැනීම් තාවකාලිකව නැවැත්වීමටත් පියවර ගෙන තිබෙනවා.” ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ඉතාමත් අසීරු කෙටි කාලීන තීරණවලින් පසුව අප ගන්නා ක්‍රියා මාර්ග වඩාත් ශක්තිමත් අනාගතයක් වෙත යාමට අවස්ථාව උදාකරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවද ටෝකියෝ සිමෙන්ති (ලංකා) පීඑල්සී සමාගම අවධාරණය කර සිටියි.

Visits: 330