රටෙහි ආනයන සීමා කිරීම දංකොටුව පෝසිලේන් වෙත ලැබුණු අවස්ථාවක්ලු

රටෙහි ආනයන සීමා කිරීම දංකොටුව පෝසිලේන් වෙත ලැබුණු අවස්ථාවක්ලු

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගම මෙරට තුළ ඩොලර් සංචිත ඉතිරි කරගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා සීමා පැනවීමට රජය ගත් තීරණය සිය සමාගම වෙත උදා වූ අවස්ථාවක් බව දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව පවතින මෙම තත්ත්වයත් සමග ඉදිරියේදී මෙරට වෙළෙඳ පොළ වෙත සිය නිෂ්පාදන අලෙවි කිරීමේ වැඩි හැකියාවක් ලැබෙනු ඇතැයිද සමාගම විශ්වාසය පළ කර තිබේ. එසේම එය කොවිඩ්-19 නිසා සිය සමාගමේ අපනයනයන් වෙත දැනට එල්ල වී ඇති බලපෑම් වෙත අනාගතයේදී යම් සහනයක් ලබා දෙනු ඇතැයිද සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කරයි.

කොවිඩ්19 වසංගතය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාර වෙත ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදු කර ඇති ඉල්ලීමට ප්‍රතිකාර දක්වමින් දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගම ලිපියක් මගින් මේ බව සඳහන් කර තිබේ.

“අප මෙතැනදී වර්තමාන ප්‍රවණතා සහ අවස්ථාවන් පාදක කරගනිමින් අපගේ අපනයන වෙළෙඳ පොළ වෙත අවධානය යොමු කරනවා. එහිදී වෙනත් ජීවන විලාසිතා නිෂ්පාදන සහ අන්තර්ජාල සිල්ලර වෙළෙඳාම වෙත යොමු වෙනවා. ඒ වගේම ආනයන සීමා කිරීම් නිසා ඇතිව තිබෙන දේශීය වෙළෙඳ පොළ අවස්ථාවන් සහ දැනට පවතින තොග සම්බන්ධයෙන්ද අප කල්පනා කර බලනවා.” සමාගම පවසයි.

Ambeon Holdings PLC සමූහයට අයත් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් ලෙස දංකොටුව පෝසිලේන් පීඑල්සී ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් පෞද්ගලික සමාගමත් එම සමූහය යටතේ පවතී. අද වනවිට Ambeon සමූහය වෙත මෙම සමාගම් දෙක හරහා ලැබෙන ආදායම් ප්‍රතිශතය 40%කට ආසන්න බව  පැවසෙයි.

එසේම මෙරට පිඟන්භාණ්ඩ වෙළෙඳ පොළ තුළ දංකොටුව පෝසිලේන් සහ රෝයන් ෆර්න්වුඩ් හිමි කරගෙන ඇති වෙළෙඳ පොළ කොටස 45% කි. මෙහිදී එකිනෙකට වෙන්ව පිහිටා ඇති මෙම කර්මාන්තශාලා දෙක සමගින් එකිනෙකට වෙනස් පාරිභෝගික රුචිකත්වයන් මත නිෂ්පාදන සිදු කරමින් සිටින බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

“දැනට අප සතුව තිබෙන තොරතුරුවලින් සහ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් අපට පෙනෙනවා මේ වසරේ පළමු කාර්තුව තුළ ආදායම වඩාත් අභියෝගාත්මකයි කියලා. ඒ වගේම දෙවැනි කාර්තුවේ ඉදන් තරමක් හොඳ ආදායමක් ලැබේවි කියලා පුරෝකතනය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ සම්පූර්ණ යථාවත්වීමක් ගැන අනාවැකි කියන්න අමාරුයි. එහෙත් දැනට පවතින මූලික මට්ටමේ ප්‍රවණතා ගැන විශ්ලේෂණය කරන කොට මේ තත්ත්වය 2020 වසරේ තුන් වන කාර්තුවේ අවසානය දක්වාම යාවි කියලා පෙන්නුම් කරනවා.” සමාගම පවසයි.

ඒ අනුව දැනටමත් සමාගම සිය මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රමවේද රැසකටම යොමුව ඇති බවත්, සිය කාරක ප්‍රාග්ධනයේ වඩාත් යහපත් කළමනාකරණයක් හරහා සිය මුදල් ප්‍රවාහන වඩාත් සුමටව පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගම පවසයි. එසේම අත්‍යවශ්‍ය නොවන වියදම් පාලනය කිරීමත්, විධායක නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව ඇතුළු ක්‍රම හරහා වියදම් නැවැත්වීමට හෝ අඩු කිරීමටත් පියවර ගන්නා බවද සමාගම සඳහන් කරයි.

ඒ අතරම සිය නිෂ්පාදනවල වේගය, කාර්යක්ෂමතාව සහ වියදම් අඩු කිරීම් සඳහා වඩාත් යහපත් නිෂ්පාදන තාක්ෂණයන් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදන බව සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සහ සිය කොටස් හිමිකරුවන් වෙත පවසා සිටියි.

මේ අතර, සිය නව නිෂ්පාදන ලෙස සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන නිෂ්පාදන වෙත අවධානය යොමු කරන බවත්, ඒවා වෙත ඉතා හොඳ ප්‍රතිචාර පවතින බවත් සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල වාණිජ සාර්ථකත්වය පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට පිවිස නොමැත.

කොවිඩ්-19 වසංගතය මෙරට තුළ ව්‍යාප්තවීම ආරම්භවීමත් සමගම දංකොටුව පෝසිලේන් සමාගම අලුතින්ම නිර්මාණය කළ නව වාෂ්ප ඉන්හේලර් උපාංගයක් හඳුන්වාදීමටද පියවර ගෙන තිබුණි. මේ හරහා කොවිඩ්-19 ඇතුළුව ශ්වසන පද්ධතියේ ආසාදනයවීම් ඇතුළු තත්ත්වයන් සමනය සඳහා වඩාත් යෝග්‍ය බවටද සඳහන් විය.

Visits: 215