කිසිදු කර්මාන්තශාලා වසා දැමීමක් හෝ සේවක ඉවත් කිරීමක් නොවිය යුතුයි – අමාත්‍ය ප්‍රසන්න

කිසිදු කර්මාන්තශාලා වසා දැමීමක් හෝ සේවක ඉවත් කිරීමක් නොවිය යුතුයි – අමාත්‍ය ප්‍රසන්න

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් කිසිදු කර්මාන්තශාලාවක් වසා දැමීමට හෝ සේවකයන් ඉවත් කිරීමකට ඉඩ නොතැබිය යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා ආයෝජන මණ්ඩලය වෙත සහ අපනයන සංවර්ධන මණ්ඩලය  වෙත උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසු කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රවල ඉදිරි කටයුතු පිළිබඳව පසුගියදා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී තිබේ. ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් මේ සඳහා එක්ව තිබේ.

එම ආයතන දෙකෙහි කටයුතු රජයේ නිර්දේශ අනුව ලබන සඳුදා සිට යළි ආරම්භ කිරීමටද යෝජනා වී ඇති අතර, මෙම සාකච්ඡාවේදී ඒ පිළිබඳව කරුණුද ඇතුළත්වී ඇත. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

ඒ අනුව, නව කොරෝනා වසංගතය හේතුවෙන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දී කර්මාන්තශාලාවල සේවක සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් කඩිනමින් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයට මෙහිදී උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

“කොරෝනා වසංගතය නිසා කර්මාන්කරුවන් මුහුණ දෙන තත්ත්වය ලෝකයටම පොදු වූ තත්ත්වයක්. වසංගතය නිසා මෙරට කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතුයි. මේ හේතුවෙන් කිසිදු කර්මාන්තශාලාවක් වසා දැමීමට හෝ කර්මාන්තශාලාවල සේවකයන් ඉවත් කිරීමක් සිදු වීමට ඉඩ නොතැබීම රජයේ ස්ථාවරයයි.” අමාත්‍යවරයා පවසා ඇත.

එසේම කර්මාන්තශාලා සිය නිෂ්පාදන නැවත ඇරඹීමේදී සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කර තිබේ. එහිදී එම උපදෙස් නොතකමින් කිසියම් කර්මාන්තශාලාවක් සිය නිෂ්පාදන කටයුතු කරන්නේ ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

එසේම අපනයන සංවර්ධන මණ්ඩලය වෙතද උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා කර්මාන්තකරුවන් හට සහන සැලසීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස පවසා ඇත. එහිදී මෙරට අපනයන සඳහා ලෝකයේ නව වෙළෙඳ පොළ හා නව පාරිභෝගික අවස්ථාව සලසා ගැනීමේ අවශ්‍යතාවයද ඔහු පෙන්වා දුන් බව අමාත්‍යාංශය පවසයි.

Visits: 50