කඩාවැටුණු දේශීය ආර්ථිකය ගොඩනැගීමට ජනපතිගෙන් නව ආර්ථික මාදිලියකට යෝජනා

කඩාවැටුණු දේශීය ආර්ථිකය ගොඩනැගීමට ජනපතිගෙන් නව ආර්ථික මාදිලියකට යෝජනා

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට දේශීය ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා වන යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සහ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනපතිවරයා මේ අදහස් ඉදිරිපත් කර ඇත.

ලබන මැයි 11 වැනිදා සිට යළි යථා තත්ත්වයට පත් කෙරෙන ජන ජීවිතයත් සමග ආර්ථිකය නගා සිටුවීමේදී ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්වී තිබේ.

එහිදී කඩා වැටී ඇති දේශීය ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙරෙන නව ආර්ථික මාදිලියක් සකස් කරන ලෙස ජනපතිවරයා මෙම ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත වගකීම් භාර දී ඇත.

මෙහිදී ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වන ඇගලුම් හා සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්ක කරගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ  හැකියාව පිළිබඳව ජනපතිවරයා අදහස් දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී වෛරසය මර්දනය සඳහා ශ්‍රී ලංකාව යොදා ගත් දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමක් පිළිබඳව ජනපතිවරයා සඳහන් කර ඇත.

එසේම අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය  සහතිකයක් සමග වීසා නිකුත් කර වැඩියෙන් වියදම් කිරීමේ හැකියාව ඇති සංචාරකයන් ගෙන්වා ගැනීමටද ජනපතිවරයා යෝජනා කර තිබේ.

මීට අමතරව ගත වූ සති කිහිපය තුළ මෙරට බිහි වූ නව නිර්මාණ ලෝක වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරී ඇත.

“උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල  පිරිසක් ලෝකයේ බොහෝ රටවලට ගොස් ඇති බවක් මෙරටට පැමිණීමට ඔවුන් කර ඇති ඉල්ලුම් මගින් අනාවරණය වී තිබෙනවා. ඉන් රටින් පිටව ගිය විනිමය සංචිත අතිවිශාලයි. උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයෝජන අවස්ථා පුළුල් කර එම මුදල් මෙරට රඳවා ගැනීමට ඇති හැකියාව මෙන්ම විදේශ රටවල සිසුන් ද මෙරටට ගෙන්වා ගැනීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකියි.” ජනපතිවරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැය කරන බව පෙන්වා දී ඇති ජනපතිවරයා ඉන් බොහෝමයක් ඖෂධ මෙරටදී නිෂ්පාදනය කළ හැකි බවත්, ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකීමද ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබේ.

මීට අමතරව කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ වර්ග රැසක් මෙරටදී නිෂ්පාදනය කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙන බව ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.

Visits: 102