හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි යළිත් ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි යළිත් ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා ටෝකියෝ සිමෙන්ති සමාගමේ (ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළිත් පත්කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය මාර්තු 25 වැනිදා සිට මෙම පත්කිරීම සිදු කර ඇති බව එම සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත පවසා තිබේ. මෙතෙක් කලක් ඒ පිළිබඳව නිවේදනය නිකුත් කිරීමට පමා වූයේ කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති වාතාවරණය බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කුමාරස්වාමි මහතා පත් කෙරී තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වන විට කුමාරස්වාමි මහතා සතුව ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කිසිදු කොටස් හිමිකමක් නොමැති බවත් සමාගම අවධාරණය කරයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 වසරේ ජූලි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතාට වසර 30කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම ජාතික මෙන්ම අන්තර්රාජ්‍ය මට්ටමෙන්ද සාර්වආර්ථික සහ සැලසුම් සකස් කිරීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය හා උපදෙස් ලබා දීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සහිත බව පැවසෙයි.

1974 වසරේ සිට 1989 වසර දක්වා මහ බැංකුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති කුමාරස්වාමි මහතා, පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

2016 වසරේදී මහ බැංකු අධිපතිවරයා බවට පත්වීමට පෙරාතුව ඒ මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සහ ටෝකියෝ සිමෙන්ති සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මේ වසර ආරම්භයේදී මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ආචාර්ය කුමාරස්වාමි මහතා තමන් අවසන් වරට සේවය ලබා දුන් පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු හා යළි එක්විය. එවකට ඒ මහතා එම සංවිධානයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මෑතකාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තේරී පත් වූ සාර්ථකම, වඩාත් නිහතමානීම පුද්ගලයා ලෙසටද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පිළිගැනේ. 

Visits: 134