“දේශීය සම්පත් යොදා ගෙන සකසන අපේම මාවතකින් ගොඩ ආ හැකියි” – අබාන් පෙස්ටොන්ජී

“දේශීය සම්පත් යොදා ගෙන සකසන අපේම මාවතකින් ගොඩ ආ හැකියි” – අබාන් පෙස්ටොන්ජී

ශ්‍රී ලංකාව සතු මෙතෙක් භාවිත නොකළ සහ මෙතෙක් මතු කර නොගත් සම්පත් රැසක් පවතින බවත්, එම දේශීය සම්පත් යොදා ගෙන සකස් කරගන්නා අපගේම මාවතකින් COVID-19 නිසා උද්ගතව පවතින මෙම අර්බුදකාරී කාලයෙන් ගොඩ ඒමට හැකියාව ඇති බවත් අබාන්ස් සමූහයේ සභාපතිනිය වන අබාන් පෙස්ටොන්ජි මහත්මිය පවසයි.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් සිදු කරන ලද ‘Sri Lanka’s COVID-19 Response Series’ නම් සාකච්ඡා අංගය වෙත සිය අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

“ශ්‍රී ලංකාව සතුව මෙතෙක් භාවිත නොකළ සහ මෙතෙක් මතු කර නොගත් සම්පත් රැසක් තිබෙනවා. භූමිය, මිනිස් බලය සහ පුහුණු මානව ප්‍රාග්ධනය වගේම ස්වාභාවික සම්පත් ඒ අතරින් ප්‍රධානයි. මේවා කාර්මික රාජ්‍යයක් සඳහා වන මූලික නිර්ණායකයි. ලෝකයේ බොහෝ රටවල් සහ ව්‍යාපාර සිය ආර්ථික සහ ව්‍යාපාරික ක්‍රමෝපායන් යළිත් සකසමින් තිබෙන මෙවැනි වාතාවරණයකදී, ශ්‍රී ලංකාවටත් එය ප්‍රයෝජනයට ගනිමින් මේ අහිතකර තත්ත්වයෙන් ගොඩ ඒමට දේශීය සම්පත් යොදා ගෙන සකස් කෙරෙන තමන්ගේම මාර්ගයක් සැලසුම් කර ගත යුතුමයි.” ඇය අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇය ශ්‍රී ලංකා ආර්ථිකය කිසිදු තේරුමක් නොමැති කාරණාවලින් අර්බුදයට ලක්ව තිබෙන බවත් පවසා සිටියි.

“උදාහරණයක් විදියට කිව්වොත් දූපතක් වෙන අපේ රට වටේම තියෙන මුහුදෙන් විවිධාකාරයේ මත්ස්‍ය සම්පතක් තිබෙනවා. ඒත් අපේ රටේ මිනිස්සු වෙනත් රටවලින් ටින් කරලා එවන ටින් මාලු ඉතාමත් කැමැත්තෙන් කනවා. අපිට පුළුවන් නම් මේ අවස්ථාව භාවිතා කරලා මෙවැනි තේරුමක් නැති දේවල් ඉවත් කරලා, අපේ රටේ ජාතික සම්පත් නිසි ලෙස උපයෝගී කරගෙන දෙයක් කරන්න පුළුවන් ක්‍රමෝපායක් සකසන්න, ශ්‍රී ලංකාවට පුළුවන් වේවි මේ කොවිඩ්-19 නිසා ඇති වුණු පීඩනය යම් දුරකට හෝ සැහැල්ලු කරලා මේ දේවල් ආපසු හරවන්න.” ඇය සඳහන් කරයි.

මේ අතර, කොවිඩ්-19 පසු උදාවන ලෝකය තුළ සිය ව්‍යාපාර මෙහෙයුම් සිදු කරද්දී ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් නැවුම් මාවත් සහ දිශානතීන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඇය මෙහිදී අවධාරණය කරයි. එහිදී විශේෂයෙන්ම මෙතෙක් මතු කර නොගත් ස්වාභාවික සහ වාණිජ සම්පත් වඩාත් තිරසාර ක්‍රමවේදයකට උපයෝගී කරගැනීම වැදගත් බව ඇය පවසයි.

“ශ්‍රී ලංකාව කියන්නේ තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග නිර්මාණය අතින් ඉතාමත් දක්ෂ සිසුන් සිටින රටක්. ඒ නිසා අපි මෘදුකාංග අපනයනය කියන අවස්ථාව ගැන අවධානය යොමු කරන්න වෙනවා. එය මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් එක් ධනාත්මක කාරණාවක් විතරයි.”

“ඒ වගේම තමයි සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නැවුම් අවස්ථාවන් පිළිබඳව සොයා බැලිය යුතුයි. එතැන තිබෙන සැගවුණු මැණික් කැට මතු කරගන්න වුවමනායි. උදාහරණයක් විදියට අපේ රට සතු මෙතෙක් ලෝකයට නිරාවරණය නොවුණු ඉදිරියේදී මතු කරගැනීමට නියමිත සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන ගැන අපි අවධානය යොමු කරන්න වෙනවා.”

විශේෂයෙන්ම මෙම කොවිඩ්-19 වසංගතය සෑම රටකටම එක සමාන අවස්ථාවන් නිර්මාණය කර ඇති බවත්, ශ්‍රී ලාංකික ව්‍යාපාරයන් සහ නායකයන් වඩා වේගවත්ව කල්පනා කළොත්, මේ අර්බුදයෙන් ඉක්මණින් ගොඩට ඒමේ අවස්ථාවක් අප රටට පවතින බවත් ඇය මෙහිදී අවසන් වශයෙන් අවධාරණය කර තිබේ.

Visits: 303