අහිතකර තත්ත්වයට මුහුණ දීමට CSE වෙත එකට බැදුණු පරිපථ ඛණ්ඩන 3ක්

අහිතකර තත්ත්වයට මුහුණ දීමට CSE වෙත එකට බැදුණු පරිපථ ඛණ්ඩන 3ක්

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වෙළෙඳ පොළ කටයුතු වෙත සිදුව ඇති බලපෑම මඟහරවමින් යළිත් වරක් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් නිකුත් කිරීමට එහි නියාමකයා වන විනිමය හා සුරැකුම් පත් කොමිසම කටයුතු යොදා තිබේ.

1987 අංක 36 දරන (සංශෝධිත) ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභා පනතේ 13 වැනි වගන්තිය යටතේ එම කොමිෂන් සභාව මෙම කරුණු සඳහන් කර ඇත. එහිදී දර්ශක පාදක කරගත් එකිනෙකට බැඳුනු ස්වයංක්‍රීය පරිපථ ඛණ්ඩන තුනක් (Tiered Circuit Breakers) ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත හඳුන්වාදීමට පියවර ගත් බව එම කොමිසම පවසයි.

“එකිනෙකට බැඳුණු මෙම පරිපථ ඛණ්ඩන සැකැස්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන්  ක්‍රමයෙන් හඳුන්වාදීමට කටයුතු කරනවා. ඒ වගේම ඒ හරහා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත සිදුවිය හැකි හානිවලින් වළක්වා ගැනීම සඳහා ගත යුතු මූලික පියවරන් සඳහා වගබලාගැනීමකුත් සිදු වේවි.” කොමිසම පවසයි.

විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව පවසන අකාරයට පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස මෙම ස්වයංක්‍රීය පරිපථ ඛණ්ඩන තුන හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙම ඛණ්ඩන තුන වෙළෙඳපොළ ක්‍රියාත්මක කරවීමට කටයුතු යොදන ලෙසද කොමිෂන් සභාව කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

ඒ අතරින් පළමු පරිපථ ඛණ්ඩනය දැනටමත් ක්‍රියාත්මක වන්නකි. එහිදී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව එහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 5%කටත් වඩා අඩු අගයකින් පහත මක් සිදු වූ විට විනාඩි 30 කාලයකට ගනුදෙනු අත්හිටුවීමක් සිදු වෙයි.

දෙවැනි පරිපථ ඛණ්ඩණය, පළමු අවස්ථාවේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 5%කින් පහත වැටුණු අවස්ථාවේදී ලබා දෙන විනාඩි 30ක කාලයෙන් අනතුරුව ගනුදෙනු යළිත් ආරම්භ වීමෙන් පසුව ක්‍රියාත්මක වන්නකි. ඒ අනුව එතැන් සිට නැවත වරක් එම දර්ශකය 2.5.% කින් පහත වැටුණේ නම් (එනම් සමස්ත අවප්‍රමාණය 7.5%කින්) මෙම පද්ධතිය ක්‍රියාත්මක වී තවත් විනාඩි 30ක කාලයකට ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.

තෙවැනි පරිපථ ඛණ්ඩණය, දෙවැනි වරටත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 2.5%කින් පහත වැටීම සිදුවී ගනුදෙනු විනාඩි 30ක කාලයකට අත්හිටවුවීම සිදුවී යළිත් වරක් එය ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වන්නකි. ඒ අනුව යම් ලෙසකින් යළිත් වරක් එම දර්ශකය 2.5%කින් පහත වැටුණේ නම් (එනම් සමස්ත අවප්‍රමාණයවීම 10%ක් ලෙස) වාර්තා වුණි නම් සිදුකරන සියලුම ගනුදෙනු අත්හිටුවා එදිනෙකට වෙළෙඳපොළ වසා දැමීමට පියවර ගැනීමක් සිදු වෙයි.

“කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු යළි විවෘත කෙරෙන දිනයේ සිට ඉහත සඳහන් කළ පරිපථ ඛණ්ඩන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම වැදගත්. ඒ වගේම නැවත දෙනුම් දෙනතුරු එය පවත්වාගෙන යාමටත් කටයුතු කළ යුතුයි. එසේම මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලුම තැරැව්කරුවන් මෙන්ම මධ්‍යම තැන්පතු ක්‍රමය සඳහා සහභාගි වෙන්නන් දැනුවත් කිරීමත් සිදුකළ යුතුයි.” ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

පසුගිය මාර්තු 20 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවා තිබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කය වෙත පනවා ඇති ඇඳිරි නීතිය ඊට හේතු ව බව කොළඹ කොටස් වෙළෙඳපොළ සහ විනිමය හා සුරැකුම්පත් කොමිෂම පවසයි. කෙසේ වෙතත් වෙළෙඳ පොළ ගනුදෙනු යළිත් වරක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ එහි නියාමකයා වන සුරැකුම්පත් කොමිෂම වෙත අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් සිදු කර තිබුණි.

Visits: 455