නිවසේ සිට වැඩ කිරීමෙන් සමාගම්වල ඵලදායිතාව ආරක්ෂා කළ හැකියි – රාජේන්ද්‍ර ත්‍යාගරාජා

නිවසේ සිට වැඩ කිරීමෙන් සමාගම්වල ඵලදායිතාව ආරක්ෂා කළ හැකියි – රාජේන්ද්‍ර ත්‍යාගරාජා

කොවිඩ්-19 වසංගතය නිසා පනවා ඇති ඇඳිරි නීතිමය තත්ත්වය හේතුවෙන් උදා වී තිබෙන ‘නිවසේ සිට වැඩ කිරීමේ (WFH – Work From Home)’ ප්‍රවණතාව බොහෝ සමාගම්වල ඵලදායිතාව ආරක්ෂා කළ හැකි අවස්ථාවක් බවට පත්ව ඇති බව ඔප්පු වී තිබෙන බව මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කාර්ගිල්ස් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පවසයි.

සුප්‍රසිද්ධ LMD වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ත්‍යාගරාජා මහතා මේ අදහස් දක්වා තිබේ. ‘Sri Lanka’s COVID-19 Response Series’ ලෙස මෙම සම්මුඛ සාකච්ඡා අංගය ඉදිරිපත්ව ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ත්‍යාගරාජා මහතා, “මේ තත්ත්වය අනාගතයේදී මෙරට සමාගම් තුළ වැඩකටයුතු සිදු වන ආකාරය වෙනස්වීමේ යම් සංඥාවක් බවටත් පත්වේවි. ඒ වගේම මෙය යම්කිසි ආකාරයක ‘හොට්ඩෙස්කිං’ එහෙමත් නැත්නම් තමන්ටම කියා ස්ථිර වූ පුටුවක් හෝ මේසයක් නොමැති කාර්යාලයක් අනාගතයේදී බිහි වේවි. එතැනදී වටහාරු ක්‍රමයට රාජකාරි සිදුවනු ඇති අතර, අපිට කාර්යාලයකට යාමට සිදු වන්නේ සතියකට අවස්ථා කිහිපයකදී පමණයි. එය සේවකයාගේ මෙන්ම එම ව්‍යාපාරයේත් ජීවන තත්ත්වය වඩාත් හොඳින් ඉහළ නැංවීමට මඟ පාදාවි.” රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පවසා සිටියි.

එසේම මෙම කාලසීමාවේදී රට තුළ විවිධ ක්ෂේත්‍රයන්හි අන්තර්ජාලය හරහා සිදු කරන ඉ-වානිජ කටයුතු සම්බන්ධයෙන් වන පිබිදීමක් දැකගත හැකි වූ බවත් ඔහු පවසයි. එසේම සාමාන්‍ය ජනතාවද මෙතෙක් දෙගිඩියාවෙන් බැලූ අන්තර්ජාල වේදිකා සහ පහසුකම් සම්බන්ධයෙන් අද යම් විශ්වාසයක් ඇති කරගැනීමට සමත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

“උදාහරණ විදියට ගත්තොත් අද ජනතාව මුදල් භාවිතයෙන් තොර ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමවේදවලට හුරුවෙලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ඇතැම් රාජ්‍ය ආයතන පවා අද වෙන කොට අන්තර්ජාල ක්‍රමවේද හරහා ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.” ත්‍යාගරාජා මහතා පවසයි.

ඒ අනුව තමාට සරලවම පැවසිය හැක්කේ මෙම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පාරිභෝගිකයන්, රජය මෙන්ම ව්‍යාපාර අතර අන්තර්ක්‍රියාකාරීත්වයන්හි යම් කාර්යක්ෂමතාවක් සිදුව ඇතැයි යන්න බවද කාර්ගිල්ස් බැංකු කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Visits: 77