කොවිඩ්-19 නිසා Tri-Zen සහ Cinnamon Life ඉදිකිරීම් තවදුරටත් නැවතිලාලු

කොවිඩ්-19 නිසා Tri-Zen සහ Cinnamon Life ඉදිකිරීම් තවදුරටත් නැවතිලාලු

ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක ජෝන්කීල්ස් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මිශ්‍ර ව්‍යාපෘති දෙකක් වන Tri-Zen සහ Cinnamon Life හි ඉදිකිරීම් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් නවත්වා තැබීමට සිදුව ඇතැයි ජොන්කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පවසයි.

ඒ අනුව මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා සමාජ දුරස්තකරණය ඇති කිරීමේ අදහසින් රජය විසින් කොළඹ දිස්ත්‍රික්කය වෙත ඇඳිරි නීතිය පැනවූ දිනයේ සිටම Tri-Zen සහ Cinnamon Life හි ඉදිකිරීම් කටයුතු මෙලෙස නැවැත්වී තිබෙන බව සමාගම පවසා සිටියි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත එල්ල වී ඇති බලපෑමත්, ලැයිස්ගුත සමාගමක් ලෙස එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කෝවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑමත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ කරුණු දක්වමින් එහි සභාපති හිරාන් කුරේ මහතා කොටස් වෙළෙඳ පොළ වෙත මේ බව සඳහන් කර තිබේ.

ඒ අතරින් Tri-Zen හි ඉදිකිරීම් ඒ මොහොත වන විට මූලික අදියරේ පැවැති බවත් එහි සඳහන් වෙයි. එහෙත් Cinnamon Life හි ඉදිකිරීම් අඩපණවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිටම චීනයේ කර්මාන්තශාලා වසා දැමීම නිසා ඇති වූ භාණ්ඩ සැපයුමේ ප්‍රමාදයත් හේතු වූ බව සමාගම පවසයි. කෙසේ වෙතත් මේ වනවිට චීනය යළිත් ක්‍රමයෙන් විවෘත වෙමින් පවතින නිසා එම භාණ්ඩ මෙරටට පැමිණීම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙනු ඇතැයිද සමාගම විශ්වාසය පළ කර සිටියි.

“මෙහිදී අප සමාගම කොන්ත්‍රාත්කරුවන් සමගින් ඉතාමත් සමීපව කටයුතු කරමින් සම්පත් කළමනාකරණය සහ නිසි අවස්ථාවේදී ඉදිකිරීම් භාරදීම සම්බන්ධයෙන් සමස්ත ව්‍යාපෘතිය වෙතම සිදුවන බලපෑම පිළිබඳව අවබෝධයෙන් සිටිනවා. ඒ වගේම උද්ගතව පවතින මෙම අර්බුදකාරී අවස්ථාවේදී පාරිභෝගිකයන් සිය අභිමතයන් සහ වියදම් යම් තරමකින් පාලනය කිරීමට කටයුතු කිරීම හරහා අලෙවියේ ගම්‍යතාවට ඇති වන බලපෑම සම්බන්ධයෙන්ද සමූහය බලාපොරොත්තු තබා තිබෙනවා.” යනුවෙන් ජොන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහි සඳහන් කරයි.

කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 190 දරණ තැන ඉදි වෙන Tri-Zen සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල් ගිවිසුමක් අනුව සිදු වෙයි. මහල් 53 කින් සමන්විත Tri-Zen ඉදිකිරීම තුළ ඇති නිවාස සංඛ්‍යාව 891 කි. 2020 ජනවාරි මාසයේදී ආරම්භ වූ එහි ඉදිකිරීම 2023 වසරේදී සම්පූර්ණයෙන්ම නිමා කිරීම සැලසුම විය.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කොළඹ බාලදක්ෂ මාවත ආසන්නයේ වර්ග අඩි මිලියන 4.5ක භූමිභාගයක මෙම සිනමන් ලයිෆ් ඉදි වෙමින් තිබේ. මෙය නගරයක් ඇතුළත තවත් නගරයක් ලෙසට සිනමන් හෝටල් සමාගම හදුන්වා දෙයි. එසේම “සිනමන් ලයිෆ්” නූතන දකුණු ආසියාවේ කේන්ද්‍රස්තානය බවට පත්වීම සිය දැක්ම බවද සමාගම සඳහන් කරයි.

මෙම සිනමන් ලයිෆ් ඉදිකිරීම තුළ සිනමන් සන්නාමය සහිත තරු පහේ හෝටලයක්, කඩසාප්පු ඇතුළත් සිල්ලර වෙළෙඳ සහ විනෝදාස්වාන සංකීර්ණයක්, සම්මන්ත්‍රණ පරිශ්‍රයක් සහ වාහන ගාල් කිරීමේ පහසුකම් ද පිහිටුවා ඇත. එසේම මහල් 30කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලක් සහ එකිනෙකට වෙන්ව පිහිටි මහල්නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක්ද මෙහි වෙයි.

Visits: 123