කෝවිඩ්-19 නිසා ආදායම් අඩුවීමෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයෝජන සැලසුම් යම් පීඩනයකලු

කෝවිඩ්-19 නිසා ආදායම් අඩුවීමෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයෝජන සැලසුම් යම් පීඩනයකලු

රට තුළ ව්‍යාප්ත වී ඇති කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු සීමා කිරීම් නිසා බොහෝ සමාගම්හි ව්‍යාපාරික මෙහෙයුම් අඩපණවීමෙන් සිය ආදායම් වෙත මෙන්ම සංවර්ධන සැලසුම් සහ ඉදිරි ආයෝජන වෙතද යම් පීඩනයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර වෙත එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් සඳහන් කරන ලෙස, කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම ‍ලිපියක් මගින් මේ කරුණු දන්වා තිබේ.

කෙසේ වෙතත් කෙටි අවස්ථාවක් ලෙස ගත්විට අද වනවිට රටෙහි බොහෝ නිවෙස් තුළ පවතින බ්‍රෝඩ්බෑන්ඩ්, අන්තර්ජාල සේවා සහ අයිපීටීවී (පියෝටීවී) තාක්ෂණයට අදාළ සේවාවන්හි වැඩි උපයෝගීතාවත් සමගින්ම සමාගම වඩාත් ධනවාදී අවස්ථාවක් අත්විඳිමින් සිටින බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සඳහන් කරයි.

එසේම උදා වූ මෙම තත්ත්වයත් සමග බොහෝ දෙනෙකු අන්තර්ජාලය සහ දුරස්ථ සේවා සඳහා වැඩි වශයෙන් යොමුවීම සහ ඒ පිළිබඳ අවබෝධයට පත්වීම හේතුවෙන් ඒ සඳහා වන අනාගත අවස්ථාවන්ද බොහෝ වන බවද සමාගම පවසා සිටියි.

“අපගේ සේවා භාවිතා කරන ගෝලීය ව්‍යාපාර සහ සංචාරක කර්මාන්ත ඇතුළු ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සිදුවුණු වෙනස්කම් පිළිබඳව අප තවමත් විමසා බලමිනුයි ඉන්නේ. කොහොම වුණත් සමස්තයක් විදියට ගත්තම කෙටි සහ මැදි කාලීන වශයෙන් සමාගමේ බලාපොරොත්තු යම් තරමකට පසුබැසීමක් සිදුව තිබෙනවා. එහිදී ඍණාත්මක බලපෑම් එල්ල වී ඇති සංචාරක කර්මාන්තය වගේම ලොව පුරා ව්‍යාප්තව ඇති අහිතකර ආර්ථික තත්ත්වයන් නිසා ඇති වූ ආදායම් ඉපැයීමේ ධාරිතාවන් මේ තත්ත්වය ඇති කිරීමට හේතුවෙලා.” ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි.

මේ අතර පවතින අසීරු අවස්ථාවේදී සිය දායක මුදල් නොගෙවා ඇති ගනුදෙනුකරුවන්ගේ සේවා විසන්ධි නොකර පවත්වාගෙන යන ලෙස නියාමකයන් (ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම) සිදුකර ඇති දැනුම් දීම හේතුවෙන් මාසික බිල්පත් ගාස්තු හරහා සිදුකරන ආදායම් එකතුවද අද අභියෝගයක් වී ඇතැයිද සමාගම පවසයි.

“එසේ නමුත්, අප විසින් ගෙවිය යුතු ඇතැම් බදු සඳහා වන නියමිත කාල සීමාව දිගු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයත් සමගම පවතින අර්බුදකාරී තත්ත්වය යම් දුරකට හෝ ලිහිල් කිරීමට කෙටි කාලීන සහනයක්ද ලැබී තිබේ” සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම මුදල් ප්‍රවාහය හා සම්බන්ධයෙන් පවතින අභියෝග වෙත මුහුණ දීමේ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම සිය ප්‍රාග්ධන වියදම් සීමා කිරීමක් වෙත යාමටද නියමිතව ඇතැයි පවසයි. ඒ අනුව අත්‍යවශ්‍ය අංශ වෙත පමණක් මුදල් වියදම් කිරීමටත්, පමාවී ගෙවීම් සිදු කිරීමේ සැලසුම් යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේ අවස්ථාවක් වෙත යොමුවීටත් කටයුතු යොදන බවද සමාගම සඳහන් කරයි.

“සමාගමේ ඇතැම් වියදම් සිදු කිරීමට සිදුව ඇත්තේ එක්සත් ජනපද ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක හරහායි. එහෙත් මේ වසංගත තත්ත්වයත් සමගම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයේ සිදු වූ අවප්‍රමාණය වීම නිසා වැඩි වශයෙන් රටේ මුදල් ඒ සඳහා ගෙවීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සමාගම එවැනි වියදම් අඩු කිරීමට හෝ සැපයුම්කරුවන්ගෙන් අදාළ නිෂ්පාදනවල මිල පිළිබඳව එකඟතාවකට පැමිණීමට දැනටමත් ක්‍රියාමාර්ග රැගෙන තිබෙනවා.” ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව මෙම කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සමාගමක් ලෙස මුහුණ දිය හැකි අභියෝග සම්බන්ධයෙන්ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සමාගමේ කළමනාකාරීත්වය ඉතාමත් සීරුවෙන් විමසීමක් සිදු කරන බවත්, ඒ සියලු අභියෝග ජයගැනීමේ විශ්වාසයක් සිය සමාගමට ඇති බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මෙන්ම සිය කොටස් හිමිකරුවන් වෙතද අවධාරණය කර සිටියි.

Visits: 216