කාවන් රත්නායක NDB සභාපති පුටුවෙන් ඉවත් වෙයි

කාවන් රත්නායක NDB සභාපති පුටුවෙන් ඉවත් වෙයි

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි සභාපතිවරයා ලෙස කටයුතු කළ කාවන් රත්නායක මහතා ලබන අප්‍රේල් 30 වැනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම බැංකුව නිවේදනයක් මගින් පවසයි.

මෙහිදී කාවන් රත්නායක (කාවන්තිස්ස දනුද්‍ර වීරවර්ධන රත්නායක) මහතා සිය පෞද්ගලික හේතුවක් මත මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි බැංකුව පවසා සිටියි.

මේ අතර, අවසන්වරට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදුවුණු මාර්තු 20 වැනිදා දිනය වන විට රත්නායක මහතා NDB බැංකුවේ කිසිදු කොටස් හිමිකමක් නොදැරූ බවත්, ඒ නිසා කොටස් හිමිකරුවන් වෙත සභාපතිවරයාගේ මෙම ඉවත්වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රත්නායක මහතා NDB බැංකුවේ 40 වැනි සංවත්සරයට එහි ප්‍රධාන විධායක දිමන්ත සෙනෙවිරත්න මහතා හා එක්වෙමින්.

කාවන් රත්නායක මහතා වසරකට වඩා නොවැඩි කාලයක් පමණක් NDB බැංකුවේ සභාපති ධුරය දැරීමද විශේෂත්වයකි. 2019 වසරේ අප්‍රේල් 18 වැනිදා කාවන් රත්නායක මහතා NDB බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. ඒ එතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනන්ද විජේතිලක අතුකෝරාල මහතා 2019 අප්‍රේල් 17 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව පිරවීමක් ලෙසිනි.

මීට පෙර රත්නායක මහතා 2007 ඔක්තෝබර් මාසයේ සිට 2012 දෙසැම්බර් මාසය දක්වා ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහයේ ප්‍රධාන සමාගමික නිලධාරියා ලෙස කටයුතු කර ඇත. එසේම කාර්ගිල්ස් සිලෝන් පීඑල්සීහි ප්‍රධාන සමාගමික නිලධාරියා ලෙස ඔහු 2013 වසරේ සිට 2019 ජනවාරි මාසය දක්වා කටයුතු කර තිබේ.

මීට අමතරව රජයේ විවිධ ආයතනවල සභාපති ධුර රැසක්ම කාවන් රත්නායක මහතා වෙත හිමිවිය. ඒ යටතේ ඔහු කලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස මෙන්ම සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපතිවරයා බවටද පත්විය. ඔහු අවසන් වරට දැරූ රජයේ තනතුර වූයේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයයි.

කාවන් රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සහෝදරයාද වෙයි.

NDB බැංකුවේ කොටස් හිමිකම් අතරින් වැඩිම ප්‍රමාණය වන 27,242,932ක් එනම් 11.7%ක කොටස්  හිමිකමක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත  හිමිය. එසේම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වෙත එහි කොටස් 23,263,710ක් එනම් 10.00%ක් හිමිව ඇත. මීට අමතරව ශ්‍රී ලංකා රජය වෙත හිමි NDB බැංකුවේ කොටස් ප්‍රතිශතය 8.36%ක් වන අතර එම කොටස් ප්‍රමාණය 19,454,390 කි.

මේ අතර ආර්පිකෝ සමාගමේ සභාපති සේන යද්දෙහිගේ මහතා සතුව NDB බැංකුවේ 4.37%ක කොටස් ප්‍රතිශතයක් හිමි අතර රිචර්ඩ් පීරිරිස් සහ සමාගම වෙතද 3.48%ක කොටස් ප්‍රමාණයක් හිමිය. එසේම සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම වෙත 4.17%ක කොටස් ප්‍රමාණයක් හිමි අතර, එහි සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා NDB බැංකුවේ උප සභාපතිවරයාද වෙයි. මීට අමරතව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙතද NDB බැංකුවේ කොටස් අතරින් 3.76%ක හිමිකමක් සහිතය.

Visits: 228