හිටපු සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් CEO නලින් විජේකෝන් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් CEO වෙයි

හිටපු සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් CEO  නලින් විජේකෝන් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් CEO වෙයි

මහජන බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ‘පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී’ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස නලීන් හේමන්ත ගාමිණී විජේකෝන් මහතා පත්කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව 2020 අප්‍රේල් 17 වැනිදා සිට ඒ මෙම පත් කිරීම සිදු කර ඇති බවත්, අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නව පත් කිරීම අනුමත කර ඇති බවත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

නලීන් විජේකෝන් මහතා මීට පෙර 2013 වසරේ පෙබරවාරි සිට 2020 මාර්තු 01 දක්වා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙසද කටයුතු කර තිබේ. එම තනතුරට පත් කිරීමට පෙරාතුව ඒ මහතා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙසටද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ගාමිණී විජේකෝන් මහතා කළමනාකරණ ගනකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේද සාමාජිකයෙකු වෙයි. ඒ මහතා සතුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 40කට අධික කාලයක අත්දැකීම් සහිත බවත් පැවසෙයි. එසේම ඔහු එක්සත් ජනපදයේ බොස්ටන් නුවර හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයද ඇතුළුව විදේශීය අධ්‍යාපන ආයතන රැසකම පුහුණුවක් ලබා තිබේ.

1970 දශකයේදී මහජන බැංකුවේ සේවකයෙකු ලෙස බැංකු ක්ෂේත්‍රයට එක්ව ඇති නලීන් විජේකෝන් මහතා, 1978 සිට 1990 වසර දක්වා කාලයක් එහි මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ඉන් අනතුරුව ඔහු KPMG Ford, Rhodes,Thornton & Company හි මහනුවර ශාඛා කළමනාකරු ලෙස පත්වීම් ලබා තිබේ.

එසේම ඔහු 1992 වසරේදී DFCC බැංකුවේ ව්‍යාපෘති නිලධාරියා ලෙසද කටයුතු කර ඇත. අනතුරුව ඔහු වනික් ඉන්කෝපරේෂන් ලිමිටඩ්හි සහකාර උප සභාපති (මූල්‍ය) ලෙස 1994 දී පත්වීම් ලැබ ඇති අතර 2003 දක්වා එම ධුරයේ රාජකාරි කර තිබේ.

1983 වසරේදී පිහිටවුණු පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 1994 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගතවීම සිදුව තිබේ. අනතුරුව 2007 වසරේදී අංක 07 දරන සමාගම් පනත යටතේ එම සමාගම 2008 සැප්තැම්බර් මාසයේදී යළිත් ලියාපදිංචි කිරීමක්ද සිදු කර ඇත. එසේම 2000 වසරේ අංක 56 දරන මූල්‍ය කල්බදු පනත යටතේද, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ 2012 වසරේදීද පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ලියාපදිංචි කර ඇතැයි පවසයි.

Visits: 234