COVID-19 වලින් බේරෙන්න Lysol බොන්න එපා – නිෂ්පාදන සමාගම කියයි

COVID-19 වලින් බේරෙන්න Lysol බොන්න එපා – නිෂ්පාදන සමාගම කියයි

COVID-19 වසංගතයෙන් බේරීම සඳහා කිසිවිටෙකත් සිය විෂබීජ නාශක නිෂ්පාදනයක් වන Lysol පානය නොකරන ලෙස Lysol සහ Dettol යන විෂබීජනාශක නිෂ්පාදන සමාගම වන Reckitt Benckiser සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම COVID-19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා විෂබීජනාශක සිරුරට එන්නත් කරගැනීමේ ඇති සාර්ථකභාවය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් එම සමාගම මෙම කරුණු අවධාරණය කර සිටියි.

“සෞඛ්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන අප පැහැදිලිවම අවධාරණය කරන්න කැමතියි කිසිදු කාරණාවක්වත් නිසාවත් අපගේ විෂබීජනාශක නිෂ්පාදන මිනිස් සිරුර වෙතට එන්නත් කරගැනීම, පානය කිරීම හෝ වෙනත් මොනයම් හෝ ක්‍රමයකින් සිරුරට ඇතුළු කර ගත නොයුතු බව.” Reckitt Benckiser සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

“අපගේ මේ කිසිදු විෂබීජනාශක හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනයක් ඒවා භාවිතා කිරීමට ලබා දී ඇති උපදෙස්වලින් බාහිරව යොදා ගැනීම වැරදයි. ඒවා භාවිතයට පෙර එම නිෂ්පාදනවල ලේබලයේ සඳහන් ආරක්ෂක තොරතුරු කියවන්න.” සමාගම සිය නිවේදනයේ වැඩිදුටරත් සඳහන් කරයි.

ධවල මන්දිරයේදී පැවැත්වුණු කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා වන ධවල මන්දිර කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනපති ට්‍රම්ප් මේ විෂබීජහරණ එන්නත් කරගැනීමේ අදහස ඉදිරිපත් කර තිබේ.

“මම හිතන්නේ මේ විෂබීජහරණවලට පුළුවන් මේ වෛරසය විනාඩියකින් ඉවත් කරන්න. විනාඩියකින්… එතැනදී අපිට පුළුවන් මේ විෂබීජහරණ ද්‍රව්‍ය ඇගට එන්නත් කරගන්න. ඒ නිසා මෙවැනි දෙයක් ගැන විමසා සිටීම ගොඩක් හොඳ දෙයක් වේවි.” ට්‍රම්ප් එහිදී පවසා ඇත. එහෙත් ට්‍රම්ප් මෙහිදී කිසිදු විෂබීජහරණ නිෂ්පාදනයක නමක් සඳහන් කර නැත.

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප්ගේ මෙම අදහස් දැක්වීම වගකීම්විරහිත සහ භයානක අවස්ථාවක් බව එක්සත් ජනපදයේ වෛද්‍ය වෘත්තිකයන් පවසා සිටියි.

Visits: 57