හේමාස් සමාගමේ හෝමාගම ඖෂධ කර්මාන්තශාලාව ඉදිකිරීම කල් යයි

හේමාස් සමාගමේ හෝමාගම ඖෂධ කර්මාන්තශාලාව ඉදිකිරීම කල් යයි

හේමාස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ජේ.එල්. මොරිසන්ස් සමාගම මගින් හෝමාගම ප්‍රදේශයේදී ඉදිකිරීම ආරම්භ කෙරුණු මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරයේ සහ පර්යේෂනාගාරයේ ඉදිකිරීම් පමා කිරීමට සිදුවන බව හේමාස් පීඑල්සී සමාගම පවසයි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය සමාගම වෙත එල්ල වී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වය මේ සඳහා හේතුවී තිබෙන බව එම සමාගම ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ලිපියක සඳහන් වෙයි.

“මේ වනවිට එම ඉදිකිරීම යටතේ වූ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ල පාහේ අවසන්ව අදියර වෙත ළගා වී ඇති පසුබිමක වුවත්, පවතින තත්ත්වය අනුව එම ව්‍යාපෘතිය යම් කාලසීමාවකට නැවැත්වීමට සිදුව තිබේ.” සමාගම දන්වා සිටියි.

2017 වසරේදී ජුලි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ඖෂධ නිෂ්පාදනාගාරය හෝමාගම පිටිපන ප්‍රදේශයේ  අක්කර පහක භූමියක් පුරා ව්‍යාප්තව තිබේ. 2019 සැප්තැම්බර් මාසය වනවිට එහි වර්ග අඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක කටයුතු නිමා කර තිබුණි. මේ සඳහා ජේ.එල්. මොරිසන් පීඑල්සී සමාගමේ ආයෝජනය රුපියල් බිලිනයන 2.9 කි.

මෙය මෙරට ඉදි කෙරෙන විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ ඖෂධ පර්යේෂණාගාරය ලෙසද සැලකෙයි. වසර 2021 වන විට මෙම කර්මාන්තශාලාව ඖෂධ නිෂ්පාදනය සඳහා සූදානම් කිරීම සමාගමේ සැලසුම විය. එහිදී ප්‍රධාන වශයෙන් අපනයනය සඳහා ඖෂධ නිෂ්පාදනය අරමුණ වී තිබුණි.

එසේම දැනට මෝදර ප්‍රදේශයේ පිහිටි සිය ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ මෙහෙයුම් 50%කින් මෙම හෝමාගම පරිශ්‍රය වෙත රැගෙන ඒම අපේක්ෂාව බව හේමාස් පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ මුර්ටාසා එසාෆුලි පසුගිය වසරේදී මාධ්‍ය වෙත පවසා තිබුණි..

කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් කරුණු සඳහන් කරන හේමාස් පීඑල්සී සමාගම, “වසංගත තත්ත්වය නිසා ආසන්න කාලසීමාවේදී ජේ.එල්. මොරිසන්ස් සමාගමේ නිෂ්පාදන කටයුතුද සිදු කෙරුණේද යම් අවම මට්ටමකිනි. එහිදී දැනට සිදුකරන නිෂ්පාදනද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලුමට සරිලන ලෙස සිදු කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනයක් බවට පත්ව තිබුණි.” යනුවෙන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සිය සමූහයේ ආදායමෙන් ආසන්න වශයෙන් 54%කට ආසන්න ප්‍රමාණයකට දායකත්වයක් සැපයූ සිය සෞඛ්‍යසේවා අංශය සිය විශාලතම ව්‍යාපාරය ලෙසද ඔවුන් හඳුන්වා දෙයි.

එහිදී ඇඳරි නීතිය හේතුවෙන් ඇති වූ ප්‍රවාහන අභියෝග මධ්‍යයේ වුවද දිවයින පුරාම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගත හැකි තත්ත්වයට පත් කිරීම සඳහා සිය කණ්ඩායම ඉතා උසස් සේවාවක් ලබාදුන් බවත් සමාගම පවසයි. ඒ අනුව අද වන විට ඉල්ලුමට සරිලන ලෙස ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමටත්, කිසිදු සැපයුම් හිඟයකින් තොරව කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වුණු බව හේමාස් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 172