මත්තල ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් යානා ගාල් කිරීමට ආරාධනා

මත්තල ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් යානා ගාල් කිරීමට ආරාධනා

කෝවිඩ්19 වසංගතය හේතුවෙන් දැනට සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති ජාත්‍යන්තර ගුවන් සමාගම් සතු පුළුල් බඳ සහිත ගුවන් යානා සිය පරිශ්‍රය තුළ ගාල් කර තැබීමේ අවස්ථාවක් පිරිනැමීමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පාලනාධිකාරිය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

යම් කිසි කාලසීමාවක් සඳහා ලබා දෙන මෙම අවස්ථාව සඳහා යම් මුදලක් අය කරගැනීමටද මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හිමිකාරීත්වය සහ කළමනාකාරීත්වය සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම අදහස් කරගෙන සිටියි.

“ගෝලීයව මිලියන ගණනක ජනතාවකගේ ජීවිත වෙත තර්ජනයක් බවට පත්ව තිබෙන කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතරින් ගුවන් සේවා කර්මාන්තය ප්‍රධානයි. ඒ අනුව ගෝලීය අවශ්‍යතාවක් ලෙස සලකා සිය පුළුල් බඳ ගුවන් යානා ගාල් කර තබා ගැනීමේ හැකියාව නොමැති ගුවන් සේවා සමාගම් වෙත මත්තල ගුවන් තොටුපොළේ අවස්ථාව ලබාදීමට කටයුතු යොදනවා.” සමාගම පවසයි.

ඒ අනුව වඩාත් ආකර්ෂණීය ගාස්තු යටතේ දිගුකාලීන ක්‍රමවේදයකට එම අවස්ථාව ලබා දෙන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වෙත මෙම ආරාධනා ඉදිරිපත් කරමින් පවසා ඇත.

මෙලෙස ගුවන් තොටුපොළ තුළ පුළුල් බඳ සහිත ගුවන් යානා ගාල් කරතැබීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂක උපාංග රැසක්ම පවතින බවත් අධ්‍යක්ෂවරයා සිය ආරාධනාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2013 වසරේ මාර්තු 18 වැනිදා විවෘත කෙරුණු මෙම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය සඳහා වෙන් කෙරුණු සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,000 කි. ඒ අතරින් හෙක්ටයාර 800ක් යොදා ගනිමින් ගුවන් තොටුපොළේ පළමු අදියරේ කටයුතු නිමව තිබේ.

මෙරට වඩාත් නවීනතම සහ වඩාත් දියුණුම උපාංගවලින් සමන්විත ගුවන් තොටුපොළ ලෙසද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සැලකෙයි. දැනට ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර්බස් ඒ380 යානා මෙහෙයුම්ද සිදුකළ හැකි ලෙස මීටර් 60ක් පළල මීටර් 3,500ක් දිග ගුවන් පථයකින්ද එය සමන්විතය.  

Visits: 83