නීතිවිරෝධී චන්ද්‍රිකා රූපවාහිනි සේවා ගැන TRC යෙන් නිවේදනයක්

නීතිවිරෝධී චන්ද්‍රිකා රූපවාහිනි සේවා ගැන TRC යෙන් නිවේදනයක්

නීතිවිරෝධී සේවා සපයන්නන් කිහිප දෙනෙකු විසින් ඍජුවම නිවසට ලබා දෙන (Direct to home / Dish tv) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා සිදු කරනු ලබන සිය ප්‍රචාරණ කටයුතු පිළිබඳව මහජනතාව වෙත දැනුවත් කර සිටින බව බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනයක් මගින් පවසයි.

එහිදී මෙවැනි නීති විරෝධී මෙහෙයුම් නැවැත්වීමට සිය කොමිසම පියවර ගෙන ඇති බවත්, එවැනි නීති විරෝධී ව්‍යාපාරිකයන්ගෙන් මෙම සේවා ලබා ගැනීම හෝ කිසිම ආකාරයක ගෙවීමක් පිළිබඳව හෝ සැලකිලිමත් වන ලෙසද කොමිසම සියලු පාරිභෝගිකයන්ට දැනුම් දී සිටියි.

මෙහිදී දැනට රට තුළ ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනි සේවා සඳහා සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වී බලපත්‍රය ලබා ගෙන ඇත්තේ සමාගම් හයක් පමණක් බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම බලපත්‍රයක වලංගු කාලසීමාව වසර පහක් බවත් පැවසෙයි.

ඒ අනුව ඩයලොග් ටෙලිවිෂන් (පෞද්) සමාගම, ඩිෂ් ටීවී ලංකා (පෞද්) සමාගම, එම්.ටී.වී. චැනල් (පෞද්ගලික) සමාගම, සතිස් ඒජන්සි (පෞද්) සමාගම, යූ.එස්. කේබල් සර්විසස් (පෞද්) සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම එම ලියාපදිංචි බලපත්‍ර ලාභී සමාගම් වෙයි.

කෙසේ වෙතත් මෙම සමාගම් අතරින් ඩිෂ් ටීවී ලංකා (පෞද්ගලික) සමාගම මේ වනවිට සිය මෙහෙයුම් අත්හිටුවා ඇතැයි එහි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ පිළිබඳව මෙතෙක් විදුලි සංදේශ නියාමන කොමිසම සිය ස්ථාවරය පවසා නැත.

එසේම මහාරාජා සමාගමට අයත් එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගම සතුව චන්ද්‍රිකා රූපවාහිනි බලපත්‍රයක් තිබුණද මෙතෙක් ඔවුන් එවැනි සේවාවක් ක්‍රියාත්මක කර නැත. 2015 වසරේදී ලබා ගෙන ඇති එහි බලපත්‍ර කාලසීමාව මේ වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන්වීමට නියමිතව ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් නම් කර ඇති මෙම ලියාපදිංචි බලපත්‍ර ලාභී චන්ද්‍රිකා රූපවාහිනි මෙහෙයුම් සිදු කරන සමාගම් ලැයිස්තුව පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අප මෙම ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙකුගෙන් අදහස් විමසා සිටියෙමු.

එහිදී ඔහුගේ අදහස වූයේ තවමත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඩිරෙක් ටු හෝම් සහ චන්ද්‍රිකා රූපවාහිනි මෙහෙයුම් සිදු කිරීම යන කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බවයි. එසේ වූවා නම් අයි.පී.ටී.වී. තාක්ෂණය හරහා රූපවාහිනි සේවා ලබා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිලෙසකින්වත් මෙම චන්ද්‍රිකා රූපවාහිනි සේවා මෙහෙයුම් සිදු කරන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවන බවද ඔහුගේ අදහස විය.

ඒ අනුව පැහැදිලි ලෙසද දැනට චන්ද්‍රිකා රූපවාහිනි සේවා යන නාමයෙන් පාරිභෝගිකයන් වෙත සේවා සලසන එකම ආයතනය වන්නේ ඩයලොග් ටෙලිවිෂන් (පෞද්ගලික) සමාගම පමණකි.

Visits: 569