ජාතික සංචාරක වෘත්තිකයෝ සංචාරකයන්ගේ සුවදුක් විමසති

ජාතික සංචාරක වෘත්තිකයෝ සංචාරකයන්ගේ සුවදුක් විමසති

ජාතික සංචාරක වෘත්තිකයන් සඳහා වූ සංගමය (NAFPT) සහ සංචාරක පොලිස් කොට්ඨාශය එක්ව කෝවිඩ්-19 හේතුවෙන් මෙරට තුළ අතරමංව සිටින විදේශීය සංචාරකයන්ගේ සුවදුක් විමසා බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මඟපෙන්වීම යටතේ මෙම කටයුතු දියත් කර තිබේ.

‘සංචාරක ආපදා අධීක්ෂණ හා සත්කාරක වැඩසටහන’ ලෙස මෙය නම් කර ඇත. ඉදිරි දින 4කදී මෙම කණ්ඩායම කොළඹ, කටුනායක, මීගමුව, මහනුවර, නුවරඑළිය, ඇල්ල, පාස්කුඩා, ආරුගම්බේ, උඩවලව, මිරිස්ස සහ උණවටුන යන ප්‍රදේශ කරා ගමන් කරන බව ජාතික සං චාරක වෘත්තිකයන් සඳහා වූ සංගමය පවසයි.

මෙහිදී එම සංචාරකයන්ගේ සුවදුක් විමසීම, වියළි සලකා පැකේජ ලබාදීම, වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම, ඔවුන් මුහුණ දී සිටින දුෂ්කරතා හඳුනාගෙන හැකි පමණින් ආධාර සැපයීම යනාදිය මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අතර වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික සං චාරක වෘත්තිකයන් සඳහා වූ සංගමයේ ජාතික සම්බන්ධීකාරක ඩොනල්ඩ් රාජපක්ෂ මහතා, මේ කාලය තුළ රජයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා බවත්, අප ර‍‍ට සහ ජනතාව කෙරෙහි විශ්වාසය තබා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගැන සැලකිලිමත්වීමද වැදගත් බව සලකමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යෙදූ බවත් පවසා සිටියි.

Visits: 35