කෝවිඩ්19හි සැබෑ බලපෑම් මූල්‍ය වාර්තා හරහා පෙන්වනවා – පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්

කෝවිඩ්19හි සැබෑ බලපෑම් මූල්‍ය වාර්තා හරහා පෙන්වනවා – පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්

කෝවිඩ්-19 හරහා සිය සමාගම වෙත එල්ල වී ඇති සැබෑම බලපෑම් මූල්‍ය වාර්තා හරහා පිලිබිඹු කරවීමට කටයුතු යොදන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යවමින් පවසයි.

එහිදී සිය නියාමකයන් සහ විගණකාධිකාරීවරුන් සමගින් සමීපව කටයුතු කරමින් සමාගම වෙත එල්ල වී ඇති බලපෑම සැබෑ ආකාරයෙන්ම මෙලෙස මූල්‍ය වාර්තා තුළ පිළිබිඹු කිරීම සඳහා පියවර ගන්නා බව සමාගම මෙම ලිපියෙන් අවධාරණය කර තිබේ.

කෝවිඩ්-19 වසංගතයේදී තම සමාගම් හට එල්ල වී තිබෙන පීඩනය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරන්නැයි කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්ගුත සමාගම් වෙත කළ දැනුම්දීමට ප්‍රතිචාර ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම ලිපිය යවා තිබේ.

“වර්තමාන තත්ත්වයේ පවතින තරලතාවය හේතුවෙන් වසංගතයෙන් අපගේ මූල්‍ය තත්ත්වය වෙත එල්ල වන බලපෑම පිළිබඳව පැහැදිලි සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කිරීම සිදුකළ නොහැකියි. එහෙත් අපගේ නියාමකයන් සහ විගණකාධිකරණ සමාගම් සමගින් සමීපව කටයුතු කරමින් සමාගම වෙත එල්ල වී ඇති බලපෑම සැබෑ ලෙසම මූල්‍ය වාර්තා තුළ පිළිබිඹු කිරීම සඳහා පියවර ගනිමු.” ලිපියේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම කෝවිඩ්-19 වසංගත ආපදා අවස්ථාවේදීද එල්ල වන හානි බලපෑම් මධ්‍යයේ වුවද නැගී සිටීමේ හැකියාවක් සිය සමාගම වෙත ඇතැයිද පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම ලිපිය තුළ අවධාරණය කර තිබේ.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මහජන බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමකි. මෙහිදී සමාගමේ වර්තමාන පිරිවැය සහ මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කරමින් මෙම ආපදාවෙන් තම සමාගමට එල්ල විය හැකි බලපෑම අවම කිරීම සඳහා වන කටයුතු සිදු කරමින් පවතින බවත් සමාගම පවසයි.

මේ අතර කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් අර්බුදයට පත්ව සිටින සිය ගනුදෙනුකරුවන් වෙත මෙම අසීරු අවස්ථාවේදී උපරිම සහාය ලබා දීමටත් කටයුතු කරන බව සමාගම මෙහිදී අවධාරණය කර තිබේ. එහිදී දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර ඇති සහන පැකේජය අනුව යමින් ගනුදෙනුකරුවන් සියලු දෙනා වෙතම අවශ්‍ය සහනය ලබාදීමට ක්‍රියා කරන බවත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම  වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා සහාය වීමක් ලෙස ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ පවා ශාඛා කිහිපයක් විවෘත කර තබා ගැනීමට සිය කළමනාකරණය තීරණය කළ බව පවසන සමාගම සිය ජංගම සහ අන්තර්ජාල සේවාවන්ද පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ලබා දී තිබූ බවත් පවසා සිටියි.

“අපගේ ආපදා දෙපාර්තමේන්තුව මේ වනවිටත් නව මෙහෙයුම් පරිසරයන් සහ මෙහෙයුම් ආපදා අවම කරගැනීමේ ඇති හැකියාවන් පිළිබඳව සොයා බලමිනුයි ඉන්නේ. ඒ වගේම අපගේ නියාමකයන් සමගින් එක්ව කටයුතු කරමින් ආපදාවෙන් පසු අවස්ථාවේදී හඳුන්වා දෙන නව සහන ලබා ගැනීමේ හැකියාව අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට කටයුතු කරමු.” මෙම ලිපියේ වැඩිදුරත් සඳහන් වෙයි.

Visits: 91