නෙස්ලේ ලංකා පීඑල්සී වාර්ෂික මහා සභා රැස්වීමත් කල් යයි

නෙස්ලේ ලංකා පීඑල්සී වාර්ෂික මහා සභා රැස්වීමත් කල් යයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස එහි රීතින් යටතේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කරන බව නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පවසයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා එම සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ලිපියකට අනුව, මෙම වාර්ෂික මහා සභා රැස්වීම ලබන මැයි 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් දැනට රට තුළ  පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය සිදුකිරීම අපහසු බව නෙස්ලේ ලංකා පීඑල්සී කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

කොටස් වෙළෙඳ පොළ  ලැයිස්තුගත සමාගම් එහි රීති අංක 8.1 යටතේ මෙලෙස නියමිත කාලය තුළදී වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වා ලාභාංශ නිකුත් කිරීම පිළිබඳ කරුණු  නිකුත් කිරීම අනිවාර්යය වී තිබේ.

ඒ අනුව මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන දිනයක් පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරනු ලබන බවත්, ඒ සමගම ලාභාංශ නිකුත් කරන දිනයක්ද ප්‍රකාශයට පත් කරන බවත් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් ලැයිස්ගුත සමාගම් පත්ව ඇති ගැටලුව පිළිබඳවද සඳහන් කරමින් කොළඹ කොටස් වෙළඳ පොළ මීට පෙර චක්‍රලේඛයක් නිකුත් කළ අතර, හැකි නම් තාක්ෂණය යොදා ගනිමින් මෙම වාර්ෂික මහා සභා රැස්වීම් සිදු කරන ලෙසද ලැයිස්තුගත සමාගම් වෙතින් ඉල්ලීම් කර තිබුණි.

Visits: 91