ඍණ වූ ඇමෙරිකානු බොරතෙල් මිල යළි ධන වෙයි

ඍණ වූ ඇමෙරිකානු බොරතෙල් මිල යළි ධන වෙයි

ඊයේ රාත්‍රියේදී ඍණ තත්ත්වයට පත් වූ ඇමෙරිකානු WTI – West Texas Intermediate බොර තෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට යළිත් ධන තත්ත්වයට පත් වෙමින් යම් ඉහළ නැගීමක් වාර්තා කර තිබුණි. ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු 10.00 වන විට එය 1.410ක් වූ බව Oilprice.com වෙබ් අඩවිය පවසයි. එහිදී එම බොරතෙල් බැරලය 103.75%කින් මිල ඉහළ යාමකි.

මේ අතරම ඊයේ දහවල් වන විට ඩොලර් 27.24 ක් ලෙස සටහන්ව තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද පෙරවරුව වන විට ඩොලර් 25.38ක් දක්වා අඩුවී තිබුණි.

මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවීමත් ඒ අතරින් එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල ඍණ අගයක් ගැනීමත් සඳහා හේතු වූයේ බොරතෙල් ඉල්ලුම පිළිබඳව එක්වරම සිදුවූ කඩා වැටීම බව විදෙස් මාධ්‍ය පවසයි.

මූලිකවම ලබන මැයි මාසය සඳහා වන එක්සත් ජනපද WTI බොරතෙල් ඇනවුම් මේ සතියේදී කල් පිරීමත් සමගම මෙම තත්ත්වය උදා වී තිබේ. කෝවිඩ්-19 වසංගත තත්ත්වය තවදුරටත් ලොව පුරා ව්‍යාප්තව පැවැතීමේ අවදානමත් සමග කිසිවෙකුත් මෙම ඇනවුම් සිදු කිරීමට උනන්දුවක් දක්වා නැත. ඒ අනුව එම ඇනවුම් සියල්ල මේ වනවිට ජූනි මාසය තෙක් කල් ගොස් තිබේ.

මේ තත්ත්වයත් සමගම ලබන ජූනි මාසයේදී ඇනවුම් කෙරෙන බොරතෙල් බැරලයක මිල ඩොලර් 20ක මට්ටමට පත්වෙනු ඇතැයිද පුරෝකත ඉදිරිපත්ව ඇත. එහෙත් එය මෙම බොරතෙල් කර්මාන්තය වෙත එතරම් යහපත් තත්ත්වයක් නොවන බවත් පැවසෙයි. දැනටමත් ලොව ප්‍රධාන පෙළේ ඉන්ධන සමාගම් මීට මුහුණ දීමට සූදානමින් සිටින අතර, දිගු කාලයක් පුරා එවැන්නක් දරා ගැනීමට එම සමාගම් වෙත නොහැකි වෙනු ඇති බවත් සඳහන් වී තිබේ.

Visits: 86