විදෙස්ගත ඥාතීන්ට මුදල් යැවීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

විදෙස්ගත ඥාතීන්ට මුදල් යැවීම ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

විවිධ හේතූන් මත මෙරටින් පිටව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා වියදම් සඳහා මෙරට සිටින ඥාතීන් ඔවුන් වෙත යවන මුදල් සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ විදේශ සංචිත ඉතිරි කරගැනීමේ අසීරුතාවයකින් පෙළෙන අවස්ථාවේදී ජනතාවගෙන් මෙම සහාය අපේක්ෂා කරන බවද මහ බැංකුව සඳහන් කරයි.  

“නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් සහ  ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශ ගතව සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් මේ කරුණ අදාළ වෙයි” මහ බැංකුව පවසයි.

එහිදී අධ්‍යයන හෝ වෛද්‍ය අරමුණු සඳහා පිටත්ව ගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් වන ගාස්තු ගෙවීමේදී අදාළ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට අවසරය ලබා දී ඇත.

එසේම එවැනි පුද්ගලයන්ට විදේශයන්හි රැඳී සිටින කාලය තුළ ස්වකීය පෞද්ගලික අවශ්‍යතා  සඳහා විදේශ මුදල් වලින් ගෙවීම හෝ ඔවුන්ගේ ණය, හර කාඩ්පත් හෝ විදේශ සංචාරක කාඩ්පත් මගින් සිදුකළ හැකි බවත් මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් දැනට මහ බැංකුව සංචරණ අරමුණු සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් නෝට්ටු ප්‍රමාණයේ උපරිම සීමාව පමණක් අඩු කර ඇති බවත්, ඉහත සඳහන් විදේශීය අධ්‍යාපන, වෛද්‍ය සහ පවුල් ජීවන වියදම් ඇතුළු ගනුදෙනු සඳහා වන ගෙවීම් සීමා කිරීමක් සිදු නොවන බවත් මහ  බැංකුව අවධාරණය කරයි.

Visits: 80