අනිද්දා විවෘත වීමට නියමිතව තිබූ කොටස් වෙළෙද පොළ යළි වැසෙයිද?

අනිද්දා විවෘත වීමට නියමිතව තිබූ කොටස් වෙළෙද පොළ යළි වැසෙයිද?

කොළඹ දිස්ත්‍රික්කය වෙත පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම ගැනීමට නියමිතව තිබූ ‘කොළඹ කොටස් වෙළෙඳ පොළ’ කටයුතු අනිද්දා දිනයේ යළි ඇරඹීමේ තීරණය ආපස්සට හකුලා ගැනීමට සිදුව ඇතැයි ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත වාර්තා වෙයි.

ලබන අප්‍රේල් 22 වැනිදා දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක වෙත පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණි. ඒ අනුව අද (20දා) පෙරවරුවේදී නිවේදනයක් නිකුත් කළ කොළඹ කොටස් වෙළෙඳ පොළ බලධාරීන් තමන් ලබන බදාදා (22දා) සුපුරුදු පරිදි ගනුදෙනු සඳහා විවෘත කරන බව පවසා තිබුණි.

කෙසේ වෙතත් ඒ සමගම රජය විසින් යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක වෙත ක්‍රියාත්මක ඇදිරිනීතිය ලබන අප්‍රේල් 27 දක්වා දීර්ඝ කිරීමට තීරණයක් ගන්නා ලදි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම ඊට ආසන්නතම හේතුව වී තිබේ.

ඒ අනුව කොටස් වෙළෙඳ පොළ කටයුතු ලබන 22 වැනිදා ඇඹීමේ තීරණය පිළිබඳව යළිත් වරක් සිතීමට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මෙන්ම එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත සිදුව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවත දැනුම් දෙන තුරු නවත්වා තිබේ. එහිදී ඇඳිරි නීතිය ඉවත් වූ වහාම යළි ගනුදෙනු ආරම්භ කරන බවටද කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කර තිබුණි.

Visits: 112