චීනයෙන් යන සමාගම් ලංකාවට ආකර්ෂනය කරගන්න – සජිත් ප්‍රේමදාස කියයි

චීනයෙන් යන සමාගම් ලංකාවට ආකර්ෂනය කරගන්න – සජිත් කියයි

වර්තමානය වනවිට ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව තවත් රටවල් කිහිපයක්ම චීනයේ පිහිටි සිය සමාගම්, කර්මාන්තශාලා සහ ව්‍යාපාර ඉන් ඉවත් කරගනිමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන එම ව්‍යාපාර මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ අදහස් පළ කර තිබේ. එහිදී මෙම අවස්ථාව අපගේ මව්රට වෙත උදා කරගැනීම සඳහා එම පිරිස් උනන්දු කරවන සුළු සහන රැගත් යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිදී පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට පත්ව තිබෙන අභාග්‍යසම්පන්න අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින එක් මාර්ගයක් ලෙසටද ඔහු මෙය හඳුන්වා දී තිබේ.

මෙහිදී විපක්ෂනායකවරයාගේ මෙම අදහස් දැක්වීම වෙත විවිධ පුද්ගලයන් ගණනාවක්ම ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අතරින් පැවැති යහපාලන රජය යටතේ හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයෙකු වූ නීතීඥ උපුල් ජයසූරිය මහතා අදහස් දක්වමින් දැනට රට තුළ පවතින ඉඩම් විදේශිකයන් වෙත ලබා ගැනීම සඳහා පවතින නීති ලිහිල් කිරීම ඊට වැදගත් බව පවසා ඇත. ඒ හරහා ආයෝජකයන්ට වඩාත් නිරවුල්ව මෙම දේපළ මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.

එසේම හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් දැක්වීම වෙත එකඟ වී ඇති අතර, දැනටමත් ඊට අදාළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් පවසා තිබේ.

Visits: 59