COVID-19 නිසා කලම්බු සිටි සෙන්ටර් ඉදිකිරීම් වසර 2ක් ආපස්සට යාවිලු?

COVID-19 නිසා කලම්බු සිටි සෙන්ටර් ඉදිකිරීම් වසර 2ක් ආපස්සට යාවිලු?

කෝවිඩ්-19 වසංගතයේ බලපෑම් නිසා දේපළ වෙළෙඳාම් අංශය වෙත එල්ල වන පීඩනය හේතුවෙන් මෙරට තුළ සිදු කෙරෙන ප්‍රධාන පෙළේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘කලම්බු සිටි සෙන්ටර් (CCC–Colombo City Centre) හි’ ඉදිකිරීම් තවත් මාස 12ත් 24ත් අතර කාලයකට ආපස්සට යනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජාත්‍යන්තර සමාගම් වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings Lanka ආයතනය පවසයි.

හෝටල්, විශාල සාප්පු සංකීර්ණයක්, සිනමාශාලා සහ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කොළඹ ගංගාරාමය අසල ඉදිවන මෙම කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය, අබාන්ස් පීඑල්සී සමූහයට අයත් වෙයි.

කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 184 කි. සිංගප්පූරුවේ Next Story Group සහ ශ්‍රී ලංකාවේ අබාන්ස් සමූහය අතර හවුල්කාරීත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ඉදි කෙරේ. එහි සාප්පු සංකීර්ණ කොටස සහ සිනමාශාලා සහිත කොටස මේ වන විට පාරිභෝගිකයන් සඳහා විවෘත කර ඇති අතර, මහල් නිවාස සංකීර්ණයේ සහ හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් තවදුරටත් සිදු වෙයි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අබාන්ස් පීඑල්සී සමූහය වෙත එල්ල වන පීඩනය එහි දේපළ වෙළෙඳාම් අංශය වෙත එල්ල වන බලපෑම මෙලෙස කලම්බු සිටි සෙන්ටර්හි ඉදිකිරීම් පමාවීමට හේතුවන බව Fitch Ratings ආයතනය පෙන්වා දෙයි. එම ආයතනය දැනටමත් අබාන්ස් පීඑල්සී සමූහයේ වර්ගීකරණය ඍණ මට්ටමට පහළ හෙළා තිබේ.

උද්ගතවන මෙම තත්ත්වයත් සමගම කලම්බු සිටි සෙන්ටර්හි ඉතිරි මහල් නිවාස අලෙවි කිරීමත් තවත් වසරකින් හෝ වසර දෙකකින් පමණ පමාවිය හැකි බවත් Fitch Ratings Lanka ආයතනය සඳහන් කර සිටියි. දැනටමත් පෙර අලෙවි කෙරුණු මහල් නිවාසවල ඉදිකරීම් කටයුතු නිමා කර තිබේ.

ඒ අනුව මෙම නිවාසවලට අදාළ ඉතිරි මුදල් ලැබීමේ අවස්ථාවක් සමාගම වෙත ලැබෙන බවත්, ඒ හරහා දැනට විකිණී නොමැති නිවාස 2021 මූල්‍ය වර්ෂය තුළදී ඉදිකර අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටත් එම ආයතනය විශ්වාසය තබා තිබේ. ඒ අනුව කලම්බු සිටි සෙන්ටර්හි ඉතිරි නිවාස ඉදිරි වසර දෙකක කාලයකදී අලෙවි කිරීමේ හැකියාවක් පවතින බවත් පැවසෙයි.

මේ අතර ඉදිරි වසා දෙකක කාලය තුළදී කලම්බු සිටි සෙන්ටර් වෙත කිසිදු ආකාරයක ප්‍රාග්ධන යෙදවීමක් පිළිබඳව සඳහනක් නොමැති බවත්, එහි ඇති අමතර නිවාස ඒකක අලෙවි වීම පමාවීමත් සමගම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් Fitch Ratings Lanka ආයතනය සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් කලම්බු සිටි සෙන්ටර් ව්‍යාපෘතිය සතුව 2022 මූල්‍ය වර්ෂය අවසන් වනතුරු ප්‍රමාණවත් තරම් මුදලක් ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එහෙත් 2021 මූල්‍ය වර්ෂය තුළදී ඔවුන් කිසිදු නිවාස ඒකකයක් හෝ අලෙවි නොකළහොත් එහි හෝටලය ඉදිකිරීම් තවදුරටත් පමාවීමේ හැකියාවක් පවතින බවත් Fitch Ratings Lanka ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර කෝවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපාර වෙත එල්ල වන පීඩනය මහඟහැරවීම සඳහා රජයේ රෙගුලාසි අනුව ලබා දී ඇති ණය සඳහා වන පොලී ගෙවීම් මාස හයක කාලයකට නොගෙවා සිටීමට අදාළ පමාසහන කාලයත් කලම්බු සිටි සෙන්ටර් වෙත හිමිව ඇති බව පවසන Fitch Ratings Lanka ආයතනය ඉදිරි කාලසීමාවේදී සිය සාප්පු සංකීර්ණය හරහා ලැබෙන කුලී මුදල් නිසි ලෙස නොලැබීම නිසා එල්ල වන පීඩනයෙන් යම් තරමකට හෝ ඉස්පාසුවක් ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාවක් උදා කරනු ඇති බවත් මෙහිදී සඳහන් කරයි.

Visits: 73