20 වැනිදා එන ‘ගුරුගෙදර’ නාලිකාවට ධම්මික පෙරේරාගේ DP Education සහායත්

20 වැනිදා එන ‘ගුරුගෙදර’ නාලිකාවට ධම්මික පෙරේරාගේ DP Education සහායත්

ලබන අප්‍රේල් 20 වැනිදා සිට විකාශන කටයුතු ආරම්භ කෙරෙන අධ්‍යාපනය සඳහාම වෙන්වූ ‘ගුරුගෙදර’ රූපවාහිනි නාලිකාව සඳහා මෙරට අංක එකේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ DP Education නම් ආයතනයේත් තාක්ෂණික සහ සංවර්ධන සහාය හිමිව ඇතැයි වාර්තා වෙයි.

ඊට අමතරව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ධර්මවාහිනි ආයතනයද මෙම කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව සිටින බව පවසයි. ‘හැදෙන අපි හදන තැන’ යන තේමාවෙන් මෙම ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ආරම්භ කිරීමට කටයුතු යෙදී ඇත.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මගපෙන්වීම යටතේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයකට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහයෝගයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැංවී තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව සහ නේත්‍රා ටීවී නාලිකාව මෙලෙස එම අධ්‍යාපන විකාශන කටයුතු වෙනුවෙන් ‘ගුරුගෙදර’ ලෙස නම් වෙනස් කිරීමටකට ලක්වීමට නියමිතව ඇත.

අප්‍රේල් 20 වැනිදා පෙරවරු 8.00 සිට 7.00 දක්වාත් රාත්‍රී 10.00 සිට 12.00 දක්වාත් මෙම ගුරුගෙදර නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සමග එක්වීමේ අවස්ථාව සිසු දරුවන්ට හිමි වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහිදී රාත්‍රී 10.00 සිට කාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යාපනික වැඩසටහන් විකාශය කිරීමට යොදා ගැනීමට නියමිතව ඇත.

එසේම 21 වැනිදා සිට සෑම දිනකම පෙරවරු 4.00 සිට මෙම ගුරුගෙදර අධ්‍යාපන විකාශය ආරම්භ කිරීම සැලසුම වී තිබේ.

විශේෂයෙන්ම කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම නිසා නිවෙස්වලට වී සිටින සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙවැනි නාලිකාවක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. රජය පසුගිය මාර්තු මාසයේදී ලබා දුන් අප්‍රේල් පාසල් නිවාඩුව අප්‍රේල් 20 වැනිදා සම්පූර්ණවීමට නියමිතව තිබුණත් එය මේ වන විට මැයි 11 වැනිදා දක්වා කල් ගොස් ඇත. 

මෙම නාලිකාව යටතේ විකාශය කෙරෙන අධ්‍යාපන වැඩසටහන් යටතේ උසස් පෙළ කලා විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව, ගණිත විෂය ධාරාව, රසායන, භෞතික, ජීව විද්‍යා විෂයන් මෙන්ම තාක්ෂණ විෂය ධාරාව, ඉංජිනේරු, ජෛව තාක්ෂණ, කෘෂිකර්මය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය යන විෂයන්ද ආවරණය කෙරෙන බව පැවසෙයි.

Visits: 92