අලුතින් ආ පුද්ගල ආදායම් අත්තිකාරම් බද්ද මැයි 15ට පෙර ගෙවන්නලු

අලුතින් ආ පුද්ගල ආදායම් අත්තිකාරම් බද්ද මැයි 15ට පෙර ගෙවන්නලු

වර්තමාන රජය විසින් 2020.01.01 දිනයේ සිට අහෝසි කරන ලද ‘උපයන විය ගෙවීමේ බද්ද (PAYE Tax)’ වෙනුවට 2010.04.01 දිනයේ සිට හඳුන්වා දී ඇති ‘පුද්ගල ආදායම් අත්තිකාරම් බද්ද (APIT – Advanced Personal Income Tax)’ යටතට ගැනෙන සියලුම ආදායම් ලබන්නන් ලබන මැයි 15 වැනිදාට පෙර මේ වසරේ ගෙවුණු මාස තුනට අදාළව සිය බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මාසික ආදායම රුපියල් 250,000ක් (දෙලක්ෂ පනස් දහසක්) හෝ වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ක් (ලක්ෂ තිහක්) වන ආදායම් ලබන්නන් මෙම නව පුද්ගල ආදායම් අත්තිකාරම් බද්දට යටත් වෙයි.

ඒ අනුව මෙම බදු ගෙවීම එක්කෝ එම බදු ගෙවන්නා විසින් සිය දෙපාර්තමේන්තුව තුළ නව බදු ගොනුවක් විවෘත කර එය පියවීම හෝ, එසේත් නැත්නම් අදාළ බදු ගෙවන්නාගේ සේවායෝජකයා විසින් දැනට පවතින බදු ගිණුම හරහා එම ආදායමට අදාළ බදු මුදල් සිය දෙපාර්තමේන්තුව වෙත ගෙවීම හෝ සිදුකළ හැකි බවත් දෙපාර්තමේන්තුව පවසයි.

“2020.01.01 සිට 2020.03.31 දක්වා වන කාලසීමාව සඳහා සේවා නියුක්ති ආදායම මත බදු බැඳියාවට අදාළ බද්ද ගෙවීමේදී සේවානියුක්තිකයන් මුහුණ දෙන අපහසුතාව සලකා, අදාළ සේවානියුක්තිකයාගේ එකඟතාව මත, ඔහුගේ පාරිශ්‍රමිකයෙන් හෝ වෙනත් යම් ආකාරයකින් උපයන විට ගෙවීමේ ක්‍රමය යටතේ සේවානියුක්තිකයන්ගේ ආදායම් බද්ද ගෙවීම සඳහා සේවායෝජකයන් වෙත ඉඩ දෙනු ලැබේ.” යනුවෙන් දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වෙයි.

එහිදී මැයි 15 වැනිදා පෙරාතුව සිදු කරන මෙම බදු ගෙවීමට අදාළ තොරතුරු සේවායෝජකයාගේ 2019/2020 තක්සේරු වර්ෂයට අදාළ උපයන විට ගෙවීමේ බදු වාර්තාවේ ප්‍රකාශ කළ යුතුව ඇති බවත් එය 2020 අප්‍රේල් 30 වන දින හෝ එදිනට පෙර භාරදිය යුතු බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා පසුගිය අප්‍රේල් 08 වැනිදා සිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ‘2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා වන යෝජිත වෙනස්කම් ක්‍රියාත්මක කිරීම’ නම් චක්‍රලේඛය පරිශීලනය කරන ලෙසද මෙහිදී ඉල්ලා තිබේ.

දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ එම චක්‍රලේඛයට අනුව, “2020.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි, දළ පාරිශ්‍රමිකය මසකට රුපියල් 250,000ක් හෝ තක්සේරු වර්ෂයකට රුපියල් 3,000,000 ඉක්මවන සේවා නියුක්තිකයෙකුගේ ඉල්ලීම මත සේවායෝජකයා විසින් පුද්ගල ආදායම් අත්තිකාරම් බද්ද (Advanced Personal Income Tax) අඩු කළ හැකිය.” යනුවෙන් සඳහන් වෙයි.  

මෙහිදී බදු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයන් මෙම කාර්යය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

මෙලෙස පසුගිය ජනවාරියේදී අහෝසි කළ උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට පුද්ගල ආදායම් අත්තිකාරම් බද්දක් හඳුන්වාදීමට සමගාමීව එම අවස්ථාවේදීම අහෝසි කළ රඳවා තබා ගැනීමේ බද්ද (WHT-With holding Tax) වෙනුවට ආදායම් අත්තිකාරකම් බද්ද (AIT – Advanced Income Tax) ලෙස නව බද්දක්ද හඳුන්වාදී ඇතැයි පැවසෙයි.

විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වයත් සමගම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ පිළියමක් ලෙස මෙම නව බදු හඳුන්වාදීම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පෙර ලිපිය : පුද්ගල අත්තිකාරම් බද්ද’ සහ ‘ආදායම් අත්තිකාරම් බද්ද’ ලෙස නව බදු දෙකක්?

Visits: 493