“2020දී ඇගලුම් කර්මාන්තය 40%කින් හැකිලේවි” – අෂ්රොෆ් ඕමාර්

“2020දී ඇගලුම් කර්මාන්තය 40%කින් හැකිලේවි” – අෂ්රොෆ් ඕමාර්

මෙරට ඇගලුම් කර්මාන්තය සඳහා වන ඉල්ලුම මේ වසරේදී 40%කින් හැකිලීමේ අවස්ථාවක් පවතින බව බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් මහතා පවසයි. ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ මූලිකත්වයෙන් ඊයේ (16දා) පෙරවරුවේදී පැවැත්වුණු අන්තර්ජාල සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

ඒ අනුව කෙටි සහ මැදි කාලීනව ඉතා විශාල රැකියා අහිමිවීමක්ද මෙම ක්ෂේත්‍රය තුළ බලාපොරොත්තු විය හැකි බවත්, අප්‍රේල් සිට ජූනි දක්වා වන කාලය තුළ සිය ව්‍යාපාර කටයුතු 80%කින් පමණ කඩා වැටෙනු ඇති බවත් තමන් පුරෝකතනය කරන බවත් ඕමාර් මහතා මෙහිදී සඳහන් කර තිබේ.

“සාමාන්‍යයෙන් ඇගලුම් කර්මාන්තශාලා කියන්නේ සේවකයන් 500ත් 5000ත් අතර සංඛ්‍යාවක් සිටින ස්ථානයක්. මේ වසංගත තත්ත්වය නිසා ඇති වූ බලපෑම සමස්ත දාමයටම බලපෑම් එල්ල වෙලා. මැයි මාසය කියන්නේ ඇගලුම් කර්මාන්තයට ඉතාමත් අසීරු මාසයක්. ඒ වගේම ලබන සැප්තැම්බර් වෙනකම්ම හොඳ වාතාවරණයක් ඇති වේවි කියලා අපිට පේන්නේ නැහැ.”

ඒ අනුව බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කර්මාන්තශාලා වෙත සිය සේවකයන්ට මූලික වැටුප පවා ගෙවීම අර්බුදයක් මතුව ඇතැයි ඔහු පවසයි.

“මහා පරිමාණ සමාගම් වලට විතරක් තමන්ගේ සේවකයන්ගේ මූලික වැටුපවත් තවත් මාස කිහිපයක් යනකම් ගෙවන්න පුළුවන් වේවි. එහෙත් සුළු පරිමාණ කර්මාන්තශාලා මෙතැනදී අර්බුදයට ලක් වෙනවා. එතැනදී මුදල් ගලායාමේ ඇති ගැටලු ප්‍රධාන වෙනවා. දැනටමත් එවැනි කර්මාන්තශාලා ප්‍රකාශ කරලා තියෙනවා තමන්ට අප්‍රේල් මාසයේ වැටුපවත් ගෙවාගන්න බැරි වෙලා තියෙන්නේ කියලා.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තය මුහුණ දී සිටින මෙම අර්බුදය හා සමානම අර්බුදයක් දැනට මෙම කර්මාන්තයේ ප්‍රධාන තරගකරුවන් බවට පත්ව සිටින චීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව මුහුණ දෙමින් සිටින බවත් ඕමාර් මහතා පවසයි. ඒ අනුව මෙහි ප්‍රතිඵලය බොහෝ විට මිල යුද්ධයක් ඇති වීම බවත් ඔහු පෙන්වා දෙයි.

“මේ කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමගින්ම මේ කර්මාන්තයේ සැපයුමට, ඉල්ලුමට වගේම නිෂ්පාදනයටත් දරුණු පහර එල්ල වුණා. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය අතරින් 40%ක්ම ආනයනය කරන්නේ චීනයෙන්. ඒත් එරට වෙළෙඳ ගනුදෙනු නැවැත්වීමත් සමගින්ම අපේ රටේ කර්මාන්තශාලා නැවතුනා. ඒ අතරම ඉල්ලුම පැත්තෙන් ගත්තොත් බොහෝ ඇනවුම් අවලංගු කෙරුණා. ඒ වගේම ඔවුන් මුහුණ දෙන ආර්ථික අර්බුද නිසා ගෙවීම් යම් කාලයකට දිග් කිරීමටත් ඉල්ලා තිබෙනවා. මේවා තමයි ඇගලුම් කර්මාන්තය දරුණු අර්බුදයකට පත් කළේ.” ඕමාර් මහතා පවසයි.

පවතින මේ තත්ත්වයත් සමගින්ම දැනට ඉහළ ඉල්ලුමක් පවතින පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල නිපදවීම සඳහා ඇගලුම් කර්මාන්තශාලා බොහෝමයක්ම බලාපොරොත්තු තබා ඇතැයිද බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක අශ්රොෆ් ඕමාර් මහතා පවසයි. එහෙත් ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍යයද චීනයෙන් ආනයනය කෙරෙන නිසා තවමත් නොවිසඳුණු ගැටලු කිහිපයක්ම පවතින බව ඔහු සඳහන් කරයි. එසේම රටෙහි පවතින ඇඳිරි නීතිය නිසා සේවකයන්ට කර්මාන්තශලා වෙත පැමිණීමේ අපහසුතා පැවතීමත් ගැටලුව තවත් දරුණු කර ඇතැයි ඔහු පවසයි.

“මේ වසංගතය පාලනය සඳහා එන්නතක් අනිවාර්යයෙන්ම සොයා ගනීවි, ඉන්පසු යළිත් සතුටුදායක දවස් උදා වේවි. එහෙත් අපට එවැනි දෙයක් ගැන පමණක් සිතමින් සැලසුම් සකස් කරන්න බැහැ.” ඕමාර් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 14036