සේවා අංශ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2015ට පසු අවම අගයට

සේවා අංශ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2015ට පසු අවම අගයට

2020 මාර්තු මාසය සදහා වන සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය දර්ශකාංග 32.0ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂව දර්ශකාංක 18.2ක පහළ යාමක් බවද සදහන් වෙයි. පෙබරවාරියේදී එය 50.2ක අගයක පැවතුණි.

විශේෂයෙන්ම COVID-19 වසංගතය තුළින් ආර්ථිකයෙහි සේවා අංශයට සිදු වූ අහිතකර බලපෑම හේතුවෙන් සේවා අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය මෙලෙස පහත වැටෙන්නට ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම තත්ත්වය 2015 මැයි මාසයෙන් පසුව වාර්තා වූ සේවා අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ අවම දර්ශක අගය වීමත් විශේෂත්වයකි.

“නිම කිරීමට නියමිත කාර්යයන් හැර සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි අනෙකුත් සියලුම උපදර්ශක කඩඉම් මට්ටම වන දර්ශකාංක 50.0ට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතීම තුළින් මෙම වසංගත තත්ත්වය මගින් සේවා අංශයෙහි කටයුතුවලට සිදු වූ පුළුල් බලපෑම පෙන්නුම් කෙරේ.” මහ බැංකුව  පවසයි.

විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට සම්බන්ධ හෝටල්, සංචාරක නියෝජිතයන් සහ විනෝදාත්මක කටයුතු වැනි සේවාවන්හි නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්හි අඩුවීමක් වාර්තා වී ඇත. මීට අමතරව, රට වසා දැමීමත් සමග පනවන ලද අභ්‍යන්තර ගමනාගමන සීමාවන් සහ නැව් භාණ්ඩ මෙහෙයවීම් පහළ යෑම ප්‍රවාහන උප අංශයෙහි ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට අහිතකර ලෙස බලපාන ලද බවත් පැවසෙයි.

ඒ අනුව, නව ව්‍යාපාර පිළිබඳ උප දර්ශකය 52.7 සිට 25.7 දක්වා පහළ යෑමක්ද, ව්‍යාපාර ක්‍රියාකාකරම් 53.8 සිට 17.1 දක්වා දරුණු පහළ යෑමක්ද, සේවා නියුක්තිය 46.2 සිට 34.8 දක්වා පහළ යෑමක්ද සිදුව තිබේ.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිද්දෙන්ම නිම කිරීමට නියමිත කාර්යයන් 45.8 සිට 65.4 දක්වා ඉහළ  යෑමක් වාර්තා කර තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා, සන්නිවේදන, සෞඛ්‍ය සහ ප්‍රවාහන උප අංශවල අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු පමණක් සිදු කිරිම මීට හේතු වී ඇතැයිද මහ බැංකුව  පවසයි.

මේ අතර අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ උපදර්ශකය 52.7 සිට 16.9 දක්වා කැපී පෙනෙන පහළ යෑමක්ද වාර්තා කර තිබේ.

Visits: 65