හේමාස් CEO වැටුප 50%කින් කපා ගනියි, අනෙක් ප්‍රධානීන්ගේත් වැටුප් කපයි

හේමාස් CEO වැටුප 50%කින් කපා ගනියි, අනෙක් ප්‍රධානීන්ගේත් වැටුප් කපයි

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩෙර්බි සිය මාසික වැටුපෙන් 50%ක් කපා හැරීමට තීරණය කළ බව  පවසයි. COVID-19 වසංගත තත්ත්වය නිසා මතුව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් සිය ව්‍යාපාර වෙත එල්ල වන පීඩනයට මුහුණ දීම සඳහා ඔහු මෙම තීරණය ගෙන තිබේ.

මීට සමගමාවීම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ‍ගෙවීම්ද 50%කින් කපා දමා ඇති අතර, ප්‍රවර්ධන අධ්‍යක්ෂවරුන්ගේ දීමනා 100%කින් කපා දැමීමටද තීරණය වී ඇත. එසේම සිය සමූහයේ සියලුම කළමනාකාර අධ්‍යක්ෂවරුන් ඇතුළුව අනෙකුත් ප්‍රධානීන්ගේ වැටුප්  35%කින් අඩු කිරීමටත් තීරණය වී තිබේ.

මෙම සියලුම වැටුප් අඩු කිරීම් ලබන මැයි 01 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බව හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩෙර්බි සියලුම සේවකයන් වෙත මෙමෝ පණිවුඩයක්  යවමින් පවසා තිබේ. මෙය ඉතාමත් අසීරුවෙන් ගත් තීරණයක් බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

“හේමාස් සමූහයේ සේවයේ නිරත පිරිසකේ රැකියා සහ වැටුප් ආරක්ෂා කරගැනීමට වගේම හේමාස් හෝල්ඩිංග්ස් සමූහය ආරක්ෂා කරගැනීමටත් මේ අසීරු තීරණය ගන්න වෙනවා. මේ වසංගත තත්ත්වයෙන් පසුව උදාවන ලෝකයේදී හේමාස් සමූහයට වඩාත් හොඳින්  යළි ගොඩනැගීමට එය උදව්වක් වේවි.” ප්‍රධාන විධායක නිලධාරියා එලෙස  පවසා ඇත.

එසේම මේ වසරේ අප්‍රේල් මාසයේදී ලබා දෙන වැටුප් වර්ධක හෝ ප්‍රසාද දීමනා ලබා දීමක් සිදු නොවන බවත්, ලබන ජුලි මාසයේදී සමාගමේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකරන විමසුමකින් පසුව සාමාන්‍ය වැටුප් වර්ධක ලබා දීමේ අවස්ථාව සහ දක්ෂතාව අනුව ප්‍රසාද දීමනා යනාදිය ලබා දීමේ හැකියාව සොයා බැලෙන බවත් පැවසෙයි.

කෙසේ වෙතත් වැටුප් කපා දැමීම පවතින ආර්ථික අර්බුදය සඳහා මුහුණදීමට ගෙන ඇති මූලික පියවරක් පමණක් බවත්, තවත් ක්‍රියාමාර්ග රැසක්ම ඒ සම්බන්ධයෙන් ගැනීමට නියමිතව ඇති බවත් ස්ටීවන් එන්ඩෙර්බි මෙම ලිපිය තුළ දක්වා ඇත.

ඒ අනුව සිදු කිරීමට සැලසුම් කර තිබූ සියලුම ආකාරයේ වියදම්, ප්‍රාග්ධන වියදම්, නව බඳවා ගැනීම් යනාදී සියල්ල නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කෙරී ඇත.

සේවකයන් 8,000 කට ආසන්න පිරිසක් සේවයේ නිරත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය මේ වනවිට සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, හෝටල්, සංචාරක සහ ගුවන් සේවා යන අංශයන්හි නිෂ්පාදන සහ සේවා සම්පාදනයේ යෙදී සිටියි.  

කෝවිඩ් -19 නිසා හේමාස් හෝල්ඩිංග්ස් සමූහය වෙත උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සිය ගෙවුණු වසර 71 ක කාලය පුරා අත්නොවිඳි අවස්ථාවක් බවද ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩෙර්බි වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 337