යුනිසෙෆ් වෙතින් මෙරට ඇගලුම් ක්ෂේත්‍රයට සතියකට අත්වැසුම් මිලියනයක, මුඛ ආවරණ කෝටියක ඇනවුමක්?

යුනිසෙෆ් වෙතින් මෙරට ඇගලුම් ක්ෂේත්‍රයට සතියකට අත්වැසුම් මිලියනයක, මුඛ ආවරණ කෝටියක ඇනවුමක්?

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා අවශ්‍යතාවක්ව පවතින ආරක්ෂිත ඇගලුම් නිෂ්පාදනවලට (Personal Protective Equipments) ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් මෙරට දේශීය ඇගලුම් කර්මාන්තකරුවන් හරහා සැපයීම සිදු කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

එම කාර්ය සාධක බලකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් ආයතනයේ) නිලධාරීන් අතර මේ පිළිබඳ සාකච්ඡාව අරලිය ගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සතියකට අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවක් පවතින බවත් එම සැපයුම සඳහා ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා මගින් එය ඉටු කර ගත හැකිද යන්න විමසීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබේ.

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම හමුවට යුනිසෙෆ් අරමුදලේ නිත්‍ය නියෝජිත මොරාද් මොහිදීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සින්ගර් යන මහත්ම මහත්මීන් මෙන්ම මෙරට දේශීය ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් පිරිසක්ද ඊට සහභාගි වී ඇත.

එසේම මෙම සාකච්ඡාව සඳහා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සහ නේපාලයේ කත්මන්ඩු නුවර සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

යුනිසෙෆ් සංවිධානය අදාළ ආරක්ෂිත ඇගලුම් මිලදී ගැනීමත් එම නිෂ්පාදනවල ප්‍රමිතිය සහ තත්ත්වය සම්බන්ධයෙන් සහතිකපත් ලබා දීමේ ක්‍රමවේදයක් සැලසීමටත්, ඉතිරි මාස තුන තුළ මෙම කාර්යය ඉටු කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.

ඒ අනුව ආරක්ෂිත ඇගලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇගලුම් කර්මාන්තශාලාවලට අවශ්‍ය සම්බන්ධීකරණය සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර තිබේ. එම කමිටුවේ සාමාජිකයන් දිනපතා රැස්ව මතුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාදීමට තීරණය කෙරුණු බවද අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

Visits: 234