‘කප්රුක’ ගෙවුණු දින 27දී ඇනවුම් 45,000ක් ඩිලිවරි කරලා

‘කප්රුක’ ගෙවුණු දින 27දී ඇනවුම් 45,000ක් ඩිලිවරි කරලා

ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම ඉ-වානිජ ආයතනය ලෙස සිය ‘කප්රුක’ වෙබ් අඩවිය හරහා පසුගිය මාර්තු 19 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා ගෙවුණු මාසයකට ආසන්න කාලසීමාව තුළදී ඇනවුම් 45,000 ක් පාරිභෝගිකයන් වෙත භාරදීම ඉතා සාර්ථක ලෙස සිදු කළ බව එහි සභාපතිවරයා වන දුලිත් හේරත් මහතා පවසයි.

මේ දක්වා තමන් සමග ගනුදෙනු කළ පාරිභෝගිකයන්ගේ ඊ-මේල් ලිපින වෙත ලිපියක් යවමින් ඔහු මේ පිළිබඳව කරුණු දක්වා තිබේ. විශේෂයෙන්ම ඒ සඳහා කප්රුක වෙබ් අඩවියේ 400කට ආසන්න ශක්තිමත් සේවක පිරිස දායකත්වය ලබා දුන් බවත්, මෙම වසංගත අවස්ථාවේදී සිය ජීවිතවල ආරක්ෂාව පවා අවදානමට ගනිමින් ඔවුන් සිදු කළ සේවය නොවන්නට මෙම සාර්ථකත්වය ලබා ගන්නට තමන්ට නොහැකි වන බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

එසේම නව අවුරුද්දෙන් පසුව අනිද්දා දිනයේදී (අප්‍රේල් 17) යළිත් සුපුරුදු පරිදි සිය සේවාව ආරම්භ කිරිමට කටයුතු කරන බවත් එදිනෙදා සිල්ලර භාණ්ඩ, වෛද්‍යවරයෙකුගේ ඖෂධ තුණ්ඩුවක් අවශ්‍ය නොවන ඖෂධ මෙන්ම පළතුරු, එළවලු යනාදියද කප්රුක වෙබ් අඩවිය හරහා සිය වටිනා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගෙනැවිත් දීමට කටයුතු යොදන බවත් දුලිත් හේරත් මහතා පවසා තිබේ.

මේ අතර පසුගියදා සිය කප්රුක වෙබ් අඩවිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්ද මෙම ලිපිය තුළ පාරිභෝගිකයන් වෙත කරුණු දැක්වීමට සභාපතිවරයා කටයුතු යොදා තිබේ.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ බවට මෙම වෙබ් අඩවිය වෙත චෝදනා එල්ල වූ අතර, පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් එම කාර්යාලය වැටලීමක්ද සිදු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතිය අවසන් වනවිට පාරිභෝගිකයන්ගෙන් නියමිත මුදලට වඩා වැඩියෙන් අයකර ගත් රුපියල් ලක්ෂ 15ක මුදලක් ආපසු ඔවුන් වෙතටම භාරදීමට ‘කප්රුක’ වෙබ් අඩවිය පියවර ගෙන තිබුණි.

එහිදී වෙබ් අඩවියේ අලෙවියට තබා තිබූ සිල්ලර භාණ්ඩ අයිතම හයක මිල ගණන් රජයේ පාලන මිලට වඩා ඉහළව පැවතීම ප්‍රධානම ගැටලුව වූ බවත්, එය තම ආයතනයට සිදුවූ අතපසුවීමක් ලෙසත් සභාපති දුලිත් හේරත් මහතා මෙම ලිපිය තුළ හඳුන්වාදී තිබේ. ඒ අනුව මෙම අයිතම සම්පූර්ණයෙන්ම වෙබ් අඩවියෙන් ඉවත් කිරීම හෝ ඒවායේ මිල ගණන් පාලන මිල අනුව නිකුත් කිරීම සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව අනාගතයේදී මෙවැනි අතපසුවීම් සිදු නොවීමට වගබලා ගන්නා බවත්, ආයතනයේ සභාපතිවරයා ලෙස මෙහි වැරැද්ද දෙපාර්තමේන්තු වෙත හෝ කළමනාකරුවන් වෙත පැටවීමකින් තොරව තමන් එහි සම්පූර්ණ වගකීම භාරගන්නා බවත් ඔහු පවසා ඇත.

මීට අමතරව පාරිභෝගිකයන් විසින් තම වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කරන ලද එහෙත් තමන්ට සම්පූර්ණ කළ නොහැකි ඇනවුම් රැසක්ම අවලංගු කිරීමට සිදුව ඇතැයිද සභාපතිවරයා මෙහිදී කරුණු දක්වා ඇත. විශේෂයෙන්ම මෙම ඇනවුම් ඇඳිරිනීතිය පැනවීමත් සමගින්ම ඉදිරිපත් වුණු අන්තර්ජාලය හරහා ඉදිරිපත් වූ කලබලකාරී මිලදී ගැනීම් (පැනික් බයින්) ලෙස හඳුනාගෙන ඇති බවත්, තමන්ට පවතින සීමාසහිත හැකියාවන් මත මෙම ඇනවුම් අවලංගු කිරීමට සිදු වූ බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව මෙම ඇනවුම්වලට අදාළ මුදල් නැවතත් ඇනවුම්කරුවන් වෙතම ලැබීමට සලස්වන බවද මෙම ලිපියේ සඳහන් වෙයි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී කළ යුත්තේ ඇනවුම් අවලංගු කිරීම නොව එම ඇනවුම් භාරදීම බව තමන්ද පිළිගන්නා බවත් දුලිත් හේරත් මෙහි  පවසා තිබේ.

මෙම කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලොව තුළ මෙන්ම රට තුළත් හට ගත් තත්ත්වය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බව පවසන කප්රුක සභාපතිවරයා, ලොකු කුඩා තරාතිරමකින් තොරව ඕනෑම සමාගමකට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවන බවද පවසා ඇත. එහිදී දැනට පවතින අස්ථාවරත්වය සහ අවදානමත් සමගම සෑම සමාගමක්ම සිය සේවා සැපයීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් මෙම අර්බුදකාරී අවස්ථාවේදී ව්‍යවසායන් සහ ව්‍යාපාර ආරක්ෂා කිරිම සඳහා ශක්තිමත්ව නැගී සිටියහොත් රටෙහි ආර්ථිකයටද එහි වේගය අහිමි වූ මොහොතේ සිට ඉදිරියට යාමට හැකි වෙනු ඇති බවත්, රැකියා සුරක්ෂිතතාවය සහ තිරසාර ජීවිත ගත කිරිමටද ජනතාවට අවස්ථාව සැලසෙනු ඇති බවත් කප්රුක සභාපතිවරයා සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරි මාස කිහිපයේදී තවත් රැකියා අවස්ථා බිහි කරමින් සිය ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුක්තව කටයුතු යොදන බවත් කප්රුක සභාපති දුලිත් හේරත් සිය ලිපියේ අවසන් වශයෙන් පවසා තිබේ.

පසු සටහන – ‘කප්රුක සභාපති දුලිත් සමාව ඉල්ලයි’ යන ජනප්‍රිය සිරස්තලයෙන් මෙම පුවත පළ කිරීමට ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අපට ඕනෑ තරම් ඉඩ තිබුණද, රටෙහි තවත් ව්‍යාපාරයක් ලෙස රැක ගත යුතු ‘කප්රුක’ වෙබ් අඩවිය තවදුරටත් අපහසුතාවට පත් නොකිරීමේ අදහසින් අප මෙම පුවත ‘කප්රුක ගෙවුණු දින 25දී ඇනවුම් 45,000ක් ඩිලිවරි කරලා’ යන සිරස්තලය යොදා ගෙන පළ කරයි.

Visits: 113