COVID-19 නිසා වෙනස් වන පත්තර කර්මාන්තය – The Morning හෙට සිට ඩිජිටල් ලෙස

COVID-19 නිසා වෙනස් වන පත්තර කර්මාන්තය – The Morning හෙට සිට ඩිජිටල් ලෙස

සීමාසහිත ලිබර්ටි පබ්ලිෂර්ස් (පෞද්ගලික) සමාගම මගින් සෑම ඉරිදාවකම ප්‍රකාශට පත් කරන the Sunday Morning පුවත්පතේ දිනපතා පුවත්පත the Morning නමින් හෙට (අප්‍රේල් 15) සිට ඩිජිටල් මාදිලියෙන් කියවිය හැකි ඉ – පුවත්පතක් ලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන බව එම සමාගම පවසයි.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක සමාජ දුරස්තකරණය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක, සාම්ප්‍රදායික දිනපතා පුවත්පත් කර්මාන්තය පවත්වාගෙන යාම පවා දැඩි අර්බුදයට ලක්ව ඇති මොහොතකදී ලිබර්ටි පබ්ලිෂර්ස් (පෞද්ගලික) සමාගම මෙලෙස දිනපතා පුවත්පතක් නිකුත් කිරීම ඇරඹීමද විශේෂත්වයක් ගෙන තිබේ.

පුවත්පත් මුද්‍රණය, බෙදාහැරීම සහ අලෙවිය යන කරුණු මෙතෙක් පුවත්පත් කර්මාන්තය මුහුණ දී සිටි ගැටලු වූ අතර, වසංගත තත්ත්වයෙන් පසුව සේවක වැටුප් ගෙවීම්, දැන්වීම් ආදායම් පිළිබඳ අවිනිශ්චිතතා යනාදී ගැටලු රැසකින්ම පුවත්පත් කර්මාන්තය පීඩා විඳීමට නියමිතව සිටියි.  

කෙසේ වෙතත් සාම්ප්‍රදායික බෙදාහැරීමේ ක්‍රමයකින් තොරව අන්තර්ජාලය හරහා පරිගණකයකින් හෝ ජංගම දුරකතනයකින් කියැවිය හැකි ලෙස ඉ-පුවත්පතක් නිකුත් කිරීමට යොමු වීම එම කර්මාන්තය තවත් දිශානතියක් වෙත පිවිසීමේ අවස්ථාවක් විය හැකි බවත් මාධ්‍ය හා සම්බන්ධ විද්වතුන් පවසා සිටියි.

ලොව පුවත්පත් කර්මාන්තයේ මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ පළමුව ජනතාව අතරට මුද්‍රිතව යන පුවත්පතක් පසුව ඩිජිටල් සංස්කරණයක් ලෙස අන්තර්ජාලය වෙත මුදා හැරිම මෙවර යම් වෙනසකට ලක් වීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව, මෙරට අනාගත පුවත්පත් කර්මාන්තය පිළිබඳව ඉඟියක්ද මින් ලැබෙන බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ලිබර්ටි පබ්ලිෂර්ස් (පෞද්ගලික) සමාගම යටතේ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙරෙන ‘දිනපතා අරුණ’  සහ ‘සතිඅග අරුණ’ යන පුවත්පත් සහ the Sunday Morning යන පුවත්පත් රටෙහි පවතින තත්ත්වයත් සමගම අන්තර්ජාලය හරහා කියවිය හැකි ඉ-පුවත්පත් ලෙස පමණක් මේ වනවිට ඉදිරිපත් කෙරෙමින් තිබේ.

ඒ අනුව මෙතෙක් ඔවුන්ට අඩුපාඩුවක්ව පැවතියේ දිනපතා නිකුත් කෙරෙන ඉංග්‍රීසි පුවත්පතකි. විශේෂයෙන්ම දිනපතා ඉංග්‍රීසි පුවත්පත් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන ලේක්හවුස් සමාගමේ ඩේලි නිවුස්, විජය පුවත්පත් සමාගමේ ඩේලිමිරර්, සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ සිලෝන් ටුඩේ, උපාලි පුවත්පත් සමාගමේ ද අයිලන්ඩ් යන පුවත්පත් දැනටමත් අන්තර්ජාලය හරහා සිය ‍ඉ-පුවත්පත් නිකුත් කරමින් සිටියි.

කෙසේ වෙතත් රටෙහි තත්ත්වය සමතයකට පත්වීමෙන් අනතුරුව අනෙක් පුවත්පත් මුද්‍රණයෙන් නිකුත් වුවද ලිබර්ටි පබ්ලිෂර්ස් සමාගමේ the Morning දිනපතා පුවත්පත මුද්‍රණයෙන් නිකුත් කරාවිද එසේත් නැත්නම් ඉ-පුවත්පතක් ලෙසින්ම පවතීවිදය යන්න කාගේත් අවදානය යොමුව ඇති කරුණකි. එහිදී තවත් දිනපතා පුවත්පතක් සඳහා එම සමාගම පවතින වියදම් කිරීමේ හැකියාව මූලික වෙනු ඇති.  

Visits: 50