විදේශ මුදල් තැන්පතුවට විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙයි

විදේශ මුදල් තැන්පතුවට විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙයි

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට මුහුණ පා ඇති අභියෝග කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ජාතික ප්‍රයත්නයට සහාය වශයෙන් මෙරට තුළ විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමේ අරමුණින් යෝජනා කෙරුණු විදේශ මුදල් තැන්පතු සඳහා අවශ්‍ය නව %විශේෂ තැන්පතු ගිණුම^ හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ උපදෙස් යටතේ ශ්‍රී ලංකා රජය විසින් මෙම විශේෂ තැන්පතු ගිණුම හඳුන්වාදී ඇතැයි මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් වෙයි.  

මෙහිදී අදාළ විශේෂ තැන්පතු ගිණුම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන් ලෙස ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකික පුරවැසියන්, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෙනත් රටවල පුරවැසියන්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකික නොවන තැනැත්තන්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, සංගම් සහ අනෙකුත් සුභසිද්ධිය පතන පාර්ශ්වයන් යනාදිය සිටින බව මහ බැංකුව පවසයි.

එක්සත් ජනපද ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝන, ස්විස් ෆ්‍රෑන්ක්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, නෝර්වීජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් යන පිළිගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ඒකක හෝ ශ්‍රී ලංකා රුපියල් මගින් මෙම තැන්පතු සිදු කළ හැකිය.

මෙහිදී අවම තැන්පතු සීමාවක් නොමැති අතර තැන්පතු සියල්ලම මාස හයකින් කල් පිරෙන ස්ථාවර තැන්පතු වෙයි. තැන්පතු කල් පිරීමේදී වඩා ඉහළ පොළියක් හිමි වන බවත් පැවසෙයි. ඒ අනුව මාස හයක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂිකව ප්‍රතිශතාංග එකක (01) ඉහළ පොළියක් සහ මාස 12ක තැන්පතු සඳහා – සාමාන්‍ය පොළී අනුපාතයට වඩා වාර්ෂික ප්‍රතිශතාංග දෙකක ඉහළ පොළියක් හිමි වෙයි.

“මේ දුෂ්කර අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සහාය දැක්වීම සඳහා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටද, ශ්‍රී ලංකාවේ සුභසිද්ධිය පතන අනෙකුත් සියලු පාර්ශ්වයන්ටද ආරධනා කරනු ලැබේ.” නිවේදනයේ සඳහන් වෙයි.

මෙහිදී අරමුදල් නැවත යැවීම කිසිම බාධාවකින් තොරව සිදු කළ හැකි බවත් පැවසෙයි. ඒ අනුව තැන්පතු කල් පිරීමේදී වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කිරීම බාධාවකින් තොරව කිරීමේ හැකියාව ලබා දී තිබේ.

එසේම 2017.11.17 දිනැති අංක 2045/56 දරන ගැසට් නිවේදනයෙහි පළ කර ඇති විදේශ විනිමය නියෝගවලට අදාළ සියලු ක්‍රියාපටිපාටිමය අවශ්‍යතාවලින් මෙම තැන්පතු ගිණුම නිදහස් වන බවත් මහ බැංකු නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 83